Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරාය නගරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මැතිසබයට, විවාදයට බදියුදීන්,ප්‍රේමලාල් කැඳවීමටත් තීරණ

කොළඹ වරාය නගරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මැතිසබයට; බදියුදීන්-ප්‍රේමලාල් කැඳවීමටත් තීරණ

කොළඹ වරාය නගරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මැතිසබයට; බදියුදීන්-ප්‍රේමලාල් කැඳවීමටත් තීරණ

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තුවට (18) දැනුම් දෙන බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පවසයි. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය (19) බදාදා සහ 20 බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය. විවාදය එම දින දෙකේදී දවස පුරාම පැවැත්වෙන අතර පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4ට පැවැත්වේ.

මේ අතර (18) සිට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට එකඟ වන්නේ නම් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමට ඉල්ලීමක් කරන්නේ නම් පමණක් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කථානායකවරයා විසින් ලබා දුන් නියෝගය අනුව කටයුතු කරමින් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලිපියක් මගින් දන්වා ඇත.

එමෙන්ම බන්ධනාගාරගතව සිටින රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට සිය එකඟතාව පළ කරන්නේ නම්, ඒ මහතාව පාර්ලිමේන්තුවට කැඳවාගෙන ඒමට කතානායකවරයාගේ නියෝගය ඇතුළත් ලිපිය ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර ඇත.

Exit mobile version