Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ඉල්ලා නඩු 27ක් ගොනු කෙරේ, මෛත්‍රී-රනිල් වග උත්තරකරුවන්

පාස්කු නඩුවක සාක්ෂිකරුවන්ගේ නම් ගම් හෙළිදරව් කිරීමෙන් වළකින්නැයි නියෝගයක්

පාස්කු නඩුවක සාක්ෂිකරුවන්ගේ නම් ගම් හෙළිදරව් කිරීමෙන් වළකින්නැයි නියෝගයක්

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය හා සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූවන්ට වන්දි ගෙවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් කොළඹ අතිරේක දිසා විනිසුරු ඔගොස්ටා අතපත්තු මහත්මිය හමුවේ නඩු 27ක් ගොනු කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් හා නීතිපතිවරයා මෙම නඩු 27 සම්බන්ධයෙන් වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් වග උත්තරකරුවන් සිය රාජකාරිය නිසි පරිදි ඉටු නොකර පැහැර හැර ඇති බව වින්දිතයන් සිය චෝදනා පත්‍රයේ සඳහන් කර තිබේ.

ඒ අනුව, වග උත්තරකරුවන්ගෙන් තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් වන්දි අයකර ගැනීමේ හිමිකමක් ඇති බව නිගමනය කරමින් තීන්දුවක් ලබා දෙන ලෙස වින්දිතයන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එසේම බාලවයස්කාර වින්දිතයන් වෙනුවෙන් පවරනු ලැබූ වන්දි නඩු සඳහා සහයක මිත්‍රයන් ලෙස පෙනී සිටීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා එම බාලවයස්කාර වින්දිතයන්ගේ ඥාතීන් විසින් ගොනු කරන ලද නඩු හයක් සඳහා ද විනිසුරුවරිය අවසර ලබා දී තිබේ.

බාලවයස්කරුවන් වෙනුවෙන් මෙලෙස නඩු පැවැරීමට පෙර ඔවුන් වෙනුවෙන් එම නඩුකරයන් පවත්වාගෙන යාම සඳහා සහයක මිත්‍රයන් පත් කිරීම සඳහා අධිකරණය හමුවේ කරුණු තහවුරු කර අවසර ලබා ගැනීම වන්දි නඩු ක්‍රියා පටිපාටියට අනුව අනිවාර්ය අංගයක් ලෙස සලකනු ලබයි .

එමෙන්ම එකම පවුලේ වින්දිතයන් කිහිප දෙනෙකු සිටින පවුල්වල ඥාතීන් එකම නඩුකරයක් යටතේ යුක්තිය අපේක්ෂා කරමින් තවත් නඩු කිහිපයක් ද ගොනු කර තිබිණි.

මෙම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය හා සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ තවත් සියයකට අධික පිරිසක් වෙනුවෙන් ද ඉදිරියේදී තවත් වන්දි නඩු ගොනු කිරීමට නියමිත ය.

නීතිඥ සඳුන් නාගහවත්ත මහතා ගොනු කර ඇති එම වන්දි නඩු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, නීතිඥ ශ්‍රියානි සෙල්වනායගම්, නීතිඥ ශ්‍රීමාල් රත්වත්තේ, නීතිඥ අරවින්ද සිල්වා, නීතිඥ දුලීක පෙරේරා, නීතිඥ ශානි පීරිස් හා නීතිඥ ගිම්හාන් ගමගේ යන මහත්ම මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Exit mobile version