Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමතිවරු කන් නොදුන් දේවානීගේ හඬට අනිල් ජාසිංහ කන් දෙයි…

මීගමුව කලපුවෙන් ඉවත් කර ඇති රොන්මඩ සහිත පස් තොගයෙන් වැලි වෙන් කර ගැනීමේ හැකියාව ගැන සොයා බැලීමේ තීරණයක් ගෙන ඇතැයි පරිසර අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය නිකුත් කර ඇත්තේ ගම්පහ සංවර්ධන කමිටු රැස්වීමේදී දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක හා ප්‍රදේශයේ මැති ඇමැතිවරු සමග උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වූ මීගමුව කලපුවෙන් බැහැර කර ඇති විශාල පස් තොගය සම්බන්ධව පළ වූ වාර්තා සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශයේ අවධානය යොමු කර මිණි.

පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මේ පිළිබඳව හා තවත් කරුණු කිහිපයක් සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යංශවල ලේකම් හා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත්,

එහිදී රොන් මඩ සහිත පස් තොගය 2018 වසරේදී ධීවර අමාත්‍යාංශයේ කලපු සංවර්ධන ව්‍යාපෘතියෙන් ඉවත් කර ඇති බවත් දේවානි ජයතිලක මහත්මිය මෙම පස් තොගය කඩොලාන පරිසරයෙන් ඉවත් කරන ලෙස දැනුම් දුන්න ද ධීවර අමාත්‍යංශය ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නැති බවත් පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා තහවුරු කරගෙන තිබේ.

මෙම ගැටලුවට විසඳුමක් වශයෙන් මෙම රොන් මඩ සහිත පස් තොගයෙන් වැලි සෝදා ඉවත් කර ගත හැකි දැයි වහා ම සොයා බලා, එසේ වැලි ඉවත් කර ගැනීමේ හැකියාවක් ඇත්නම් ඊට වහා ම මැදිහත් වන්නැයි පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට උපදෙස් දී ඇත.

මෙම කටයුතු ප්‍රමාද නොකරන ලෙසත් මෙම සතිය තුළ ම නිලධාරින් පිරිසක් යවා ඊට අදාළව පියවර ගෙන තමන්ට වාර්තා කරන ලෙසත් ලේකම්වරයා උපදෙස් දී ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ.

මෙම පියවර සාර්ථක වුවහොත් මෙම ගැටලුව එතැනින් ම අවසන් කළ හැකි බවත් ලේකම්වරයා සඳහන් කරයි.

Exit mobile version