Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කන පුස්වැල: වඳ වී ඇතැයි සිතූ දුර්ලභ ශාකයක් වසර 172කට පසු සොයා ගැනේ

කන පුස්වැල: වඳ වී ඇතැයි සිතූ දුර්ලභ ශාකයක් වසර 172කට පසු සොයා ගැනේ

‘කන පුස්වැල’ නමින් හඳුන්වන ඉතාම දුර්ලභ වර්ගයේ ශාක 2ක් අම්බලන්ගොඩ, මාදම්පාවිල අභය භූමිය ආසන්නයේ තිබී ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය විසින් සොයා ගනු ලැබ තිබේ.

වසර 172කට පසුව මෙම ශාක 2 සොයා ගනු ලැබ ඇත්තේ, මාදම්පාවිල ජෛව විවිධත්වය පිළිබඳ පරීක්ෂණ කළ කණ්ඩායමක් විසිනි.

Mucuna gigantea යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ශාකය රනිල කුලයට අයත් වැල් විශේෂයකි.

පර්යේෂකයන් පවසන්නේ එම වැල් විශේෂය කොට්ටම්බා ගස් දෙකක් අතර වර්ධනය වී තිබියදී හමු වූ බව ය.

පේරාදෙණිය ජාතික ශාක කෞතුකාගාරයේ පර්යේෂකයෙකු වන භාතිය ගොපල්ලව මහතා ද මෙම පර්යේෂණයට සම්බන්ධ වී ඇති අතර ඒ මහතා ප්‍රකාශ කළේ කන පුස්වැල නම් මෙම ශාකය පළමුවෙන්ම හමුවී ඇත්තේ 1849 වසරේ මඩකලපුවේදී බවයි.

තව ද මෙම ශාකය පිළිබඳව පවතින වාර්තා ද සීමිත බව ඒ මහතා පැවසීය.

1849න් පසු මාදම්පාවිල අභය භූමිය ආසන්නයෙන් හමු වන තුරු අදාළ ශාකය කිසිදු ස්වභාවික පරිසරයකින් හමු වී නොමැති බව ද භාතිය ගොපල්ලව මහතා පැහැදිලි කළේය.

එම හේතුවෙන් මෙම ශාකය වඳ වී යාමේ දැඩි තර්ජනයට ලක් වූ ශාක විශේෂයක් ලෙස 2012 වසරේ නිකුත් කළ රතු දත්ත වාර්තාවට ද ඇතුළත් කර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ගාල්ල වනජීවී සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා පවසන්නේ මෙවැනි කතාවකි.

“මෙය ඉතා ම වටිනා සොයා ගැනීමක්. මෙය වඳ වී ගොස් ඇතැයි සිතූ ශාකයක්. මෙය සංරක්ෂණය සඳහා වහා ම පියවර ගත යුතුයි. අභය භූමියට ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉඩම්වලින් අපට මේ ශාකය හමු වුණේ. ශාකය අපිට හමුවන විටත් මල් පිපී ගෙඩි හටගෙනයි තිබුණේ. මේ ශාකය උද්භිද විද්‍යා ශාක එකතුවකටත් අපිට එක් කළ හැකියි.”

මෙම පර්යේෂණය සඳහා මධුර ද සිල්වා, භාතිය ගොපල්ලව, සුපුන් දේශප්‍රේම, සිසිර දර්ශන, රොෂාන් පාඬිප්පෙරුම, සම්පත් උඩුගම්පල, ලලිත් සිරිවර්ධන, ප්‍රදීප් කුමාර සහ සම්පත් ගුණසිංහ යන මහත්වරු සහභාගී වී ඇත.

තව ද වනජීවී දෙපාර්තමේන්තුවේ අඩවි වන සහකාර චමිල් ප්‍රදීප් මහතා ද මෙම පරීක්ෂණය සඳහා එක්ව ඇති බව අප වාර්තාකරු පැවසීය.

– MB

Exit mobile version