Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සමග සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයන් සහ සංවිධාන ගැන විශේෂ විමර්ශනයක්

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස දැනට ත්‍රස්ත විමර්ශන අංශය විසින් හඳුනාගෙන සිටින මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් සමග සබඳකම් පැවැත්වූ දේශපාලනඥයන් සොයා බුද්ධි අංශ සහ ත්‍රස්ත විමර්ශන අංශය මගින් විශේෂ විමර්ශනයක් මේ වනවිට සිදුකරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘ඉරිදා මව්බිම’ට ප්‍රකාශ කළේ ය.

වසර ගණනාවක් තිස්සේ මොහොමඩ් නවුෆර් නමැති පුද්ගලයා කටාර් රාජ්‍යයේ සිට ඇති බවත් මෙම පුද්ගලයා සමග කටාර් රාජ්‍යය ඇතුළු විදෙස් රටවලදී සහ මෙරටදී සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයන් කවුදැයි කියා සෙවීම සඳහා මෙම විශේෂ විමර්ශනය සිදුකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

2016 වසරේ සිට මොහොමඩ් නවුෆර් සහරාන් සමග සම්බන්ධ වී ඇති බවත් අබුබකර් අල් බැග්ඩෑඩ්ගේ මතවාදයට සහරාන් සම්බන්ධ කිරීමට මොහොමඩ් නවුෆර් සැලකිය යුතු කාර්යභාරයක් සිදුකර ඇති බවට විමර්ශනවලදී හඳුනාගෙන තිබෙන බව ද අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පෙන්වා දෙන ලදී.

මොහොමඩ් නවුෆර් සහරාන් සමග සම්බන්ධ වෙමින් පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා ඔහුව මතවාදීව මෙහෙයවා ඇති බවට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයෙන් සිදුකරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය කරගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සහරාන්ට දේශපාලන රැකවරණ ලබාදෙමින් සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයන් සහ සංවිධාන මොහොමඩ් නවුෆර් සමග ද සබඳකම් පවත්වා තිබේද කියා දැනගැනීම සහ ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කරගැනීම සඳහා මෙම විශේෂ විමර්ශනය සිදුකරන බවද අමාත්‍ය වීරසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– MB

Exit mobile version