Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීමට සහ රක්ෂණ ආවරණයක් ලබාදීමට සැරසේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත වැඩි ඡන්ද 51කින් සම්මතයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත වැඩි ඡන්ද 51කින් සම්මතයි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීමට සහ එක් මන්ත්‍රීවරයෙකු සඳහා රුපියල් දස ලක්ෂයක රක්ෂණ ආවරණයක් ලබාදීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ටද බලපාන අයුරිනි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එම යෝජනාව අනුමත කර ඇති බවද වාර්තා වේ.

කලින් පැවැති ආණ්ඩු දෙකම මන්ත්‍රීවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට කටයුතු නොකළ බවත් එම දීමනාව වැඩි කළ යුතු බවට තමා වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවත් අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් කතානායකවරයා සඳහන් කර ඇත.

අධිකරණයේ විනිසුරුවරුන්ගේ වැටුප් තලවලට අනුරූපීව මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කළ යුතු බවට යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායකවරයෙකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ 2006 නොවැම්බර් 23දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වී ඇති බැවින් ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීම සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මන්ත්‍රී දීමනා එසේ වැඩි කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 68 (1) ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් සිදුකළ යුතු වෙයි.

විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 (1) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් සිදුකෙරේ.

යහපාලන ආණ්ඩුව පැවැති අවධියේ එම ආණ්ඩුවේ සභානායකවරයාව සිටි ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහළ නැංවීම සඳහා යෝජනා කළ අවස්ථාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීමට මෙය අවස්ථාව නොවන බව විපක්ෂය විසින් පෙන්වාදීම නිසා මන්ත්‍රී දීමනා වැඩි කිරීමේ යෝජනාව හකුළා ගනු ලැබීය.

මෙවර මන්ත්‍රීවරුන්ට දීමනා වැඩි කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ඉදිරිපත් වූ අවස්ථාවේ එම කාරක සභා රැස්වීමට සහභාගි වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කලින් පැවැති ආණ්ඩුව සමයේ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කරන ලෙසට තමා විසින් යෝජනා කළ අවස්ථාවේ විපක්ෂය ඊට විරුද්ධ වූ බව සිහිපත් කර ඇතත් මෙවර යෝජනාවට පක්ෂපාතිත්වය දක්වමින් නිහඬව සිටි බවද වාර්තා වේ.

අග්‍ර විනිශ්චයකාරවරයාගේ මූලික වැටුප රුපියල් එක්ලක්ෂ හතලිස් පන්දහසක්ද (රු. 145,000) ශ්‍රේෂ්ඨාකරණයේ විනිශ්චයකාරවරයන් හා අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ මූලික වැටුප රුපියල් එක් ලක්ෂ තිස්පන්දහසක් (රු. 135,000) හා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන්ගේ මූලික වැටුප රුපියල් එක් ලක්ෂ තිස් එක්දහස් පන්සියයක් (රු. 131,500) වශයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ලබාදී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා රුපියල් දස ලක්ෂයක රක්ෂණාවරණයක් ලබාදීමටද තීරණය වී ඇති අතර ඉකුත් 09 වන දා සවස පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමකදී මේ පිළිබඳ අවසන් තීරණයකට එළැඹ එය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මඟින් ලබාදීමටද තීරණය කර තිබේ.

එදින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ගෘහ්‍ය කාරක සභාවේදීද මෙම රක්ෂණ ආවරණය පිළිබඳ සාකච්ඡා වී ඇත.

මන්ත්‍රීවරුන් සඳහා මෙම රක්ෂණ ආවරණය අප්‍රමාදව ලබාදිය යුතු බව සභානායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කරුණු දක්වා ඇති බවද වාර්තා වේ.

මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනා ඉහළ දැමීම තීරණය කළ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන, සභානායක දිනේෂ් ගුණවර්ධන, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, ඩිලාන් පෙරේරා, රිෂාඩ් බදියුදීන්, ආර්.එම්. රංජිත් මද්දුමබණ්ඩාර, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු සහභාගි වී ඇත.

Exit mobile version