Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මධ්‍යසාර සහ එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය මුළුමනින්ම තහනම් කිරීමට පියවර – ජනාධිපති නියෝග

බඩඉරිඟු වගා කරන්න සියලු පොහොර නොමිලයේ

බඩඉරිඟු වගා කරන්න සියලු පොහොර නොමිලයේ

මධ්‍යසාර සහ එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය මුළුමනින්ම තහනම් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට (28) උපදෙස් දුන්නේය.

මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කළේය.

කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ අක්‍රමිකතා නතර කිරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දේශීය ගොවීන් කහ සහ බඩඉරිඟු වගාව ඉතා සාර්ථකව පුළුල් කර ඇත. ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙලීමට ආසන්නව පවතී. ගොවීන්ට සාධාරණ මිලක් හිමිවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

වෙළෙඳුන් තොග රැස් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට රජය පූර්ණව මැදිහත්විය යුතු බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

2021 සහ 2022 මාස් කන්න සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් බීජ රැස් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කූට ව්‍යාපාරිකයන් නීති විරෝධී ලෙස ආනයනය කරන කහ තොග විනාශ කරන්නැයි නියෝග කළේය.

අක්‍රමිකතාවන්හි නිරත වන ව්‍යාපාරිකයනට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහතා උපදෙස් දුන්නේය.

කහ, බඩඉරිඟු මෙන්ම කව්පී, උඳු, මුංඇට, තල, කුරහන් ආදී ධාන්‍ය තොග රැස් කරන්නන්ට ණය දීම වෙනුවට පුළුල් වෙළෙඳ පොළක් සහතික කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Exit mobile version