Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මිනුවන්ගොඩ: ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර සති කිහිපයක් සැඟවුණු එකක්

මිනුවන්ගොඩ: ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර සති කිහිපයක් සැඟවුණු එකක් - සුදත් සමරවීර

මිනුවන්ගොඩ: ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර සති කිහිපයක් සැඟවුණු එකක් - සුදත් සමරවීර

‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ නව පොකුරක් නිර්මාණය වූ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සති කිහිපයක් මුළුල්ලේ සිට වයිරසය තිබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹදී ඊයේ(7) ප්‍රකාශ කළේය.

නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මුලින්ම හඳුනාගත් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාව, මිනුවන්ගොඩ එම ආයතනයෙන් වාර්තා වූ කොවිඩ් පොකුරේ පළමු රෝගියා නොවන බව ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කීවේය. කොළඹ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එම කරුණු කීය.

මේ දක්වා කරන ලද සොයාබැලීම්වලදී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් අතර සැප්තැම්බර් 20 වැනිදා සිට ශ්වසන රෝග තත්ත්ව තිබී ඇති බව වාර්තා වන බව ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවැසීය.

නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මුලින්ම හඳුනාගත් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාව රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ සැප්තැම්බර් 28 වැනිදා බවත් ඇය රෝහල් ගත කර ඇත්තේ සැප්තැම්බර් 30 වැනිදා බවත් සමරවීර මහතා කීවේය. එබැවින් හඳුනාගත් පළමු රෝගියා, අතරමැද රෝගියකු බවත් ඊට පෙර වයිරසය ආසාදනය වූ පිරිස් ඇඟලුම් කම්හලේ සිටින්නට ඇති බවත් ඇතැම් විට පළමු රෝගියා මේ වනවිට සුවය ලබා ඇති බවට අනුමාන කළ හැකි බවත් හෙතෙම කීය.

පළමු රෝගියා වාර්තා වීමට රෝගී වූ පිරිස් එම කම්හලේ සිට ඇති බවත් සැප්තැම්බර් 20 වැනිදා රෝග ලක්ෂණ මතු වූවා නම් ඊටත් පෙර හෝ ඊටත් සති දෙකකට වයිරසය කර්මාන්තශාලාව තුළට ඇතුළුවන්නට ඇති බවත් ඔහු කීවේය. මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී ආපස්සට කරුණු රැසක් සෙවීමට සිදුවන බව ද හෙතෙම කීය. පළමු රෝගියා සෙවීම ඉතා දුෂ්කර කාර්යයක් බව ද ඔහු මෙහිදි පැහැදිලි කළේය. රෝගීන් අතර උණ, සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස යනාදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය සිටියද බොහෝ දෙනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ද හෙතෙම කීය.
-lankadeepa-

Exit mobile version