Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළමු​ ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී ඔප්පුවේ බර ලිහිල් කරයි

පළමු​ ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී ඔප්පුවේ බර ලිහිල් කරයි

පළමු​ ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී ඔප්පුවේ බර ලිහිල් කරයි

පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී පදිංචිය සහතික කිරීම සඳහා ඔප්පුවක් නොමැති අවස්ථාවලදී වසර පහක් අඛණ්ඩව ඡන්ද නාමලේඛනයේ නම සඳහන් වීමත්, ප්‍රදේශයේ ග්‍රාම සේවක ඇතුළු අදාළ බලධාරීන් විසින් පදිංචිය තහවුරු කිරීමත් ප්‍රමාණවත් බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී ඔප්පුවක් ඉදිරිපත් කළහොත් ලකුණු 20ක් ලබාදෙන බවත්, එසේ ඔප්පු නොමැති වීමෙන් පාසලට ඉතා ආසන්නයේ පදිංචි දරුවන්ට පවා පාසල අහිමි වන බවටත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 29 වනදා පැවැසීය.

එබැවින් නිශ්චිත ඔප්පු නැති අය වෙනුවෙන් මෙම නීතිය ඇතුළත් චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මීට අමතරව ඉදිරියේදී පාසල් දරුවන්ගේ නිල ඇඳුම් වවුචර වෙනුවට මෙරට නිෂ්පාදිත රෙදි ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද කැබිනට් ප්‍රකාශකවරයා කීවේය. ඒ අනුව ලබන වසරේ සිට පාසල් දරුවන් ශ්‍රේණි අනුව කාණ්ඩ 6කට බෙදා රෙදි ලබාදීමට පියවර ගෙන ඇතැයි ද ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

එලෙස කාණ්ඩ 6කට බෙදා රෙදි කැපීමේදී විශාල රෙදි ඉතුරුවක් සිදුවන බව ද ඇමැතිවරයා සඳහන් කළේය. දේශීය රෙදි නිෂ්පාදකයන් එම රෙදි නිපදවීම ආරම්භ කර ඇති අතර ලබන ජනවාරි අවසානය වනවිට පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි ලබාදීමට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

Exit mobile version