මේ ඇමති මණ්ඩලය දිවුරුම් දෙනකොට තිබුණු ප්‍රධානම චෝදනාවක් තමයි ඡන්දෙට කලින් කිව්වා වගේ උගතුන් වියතුන් දාන්නෙ නැතුව පල් වෙච්ච, පිළුණු වෙච්ච පරණ මූණු ටිකට ම ආපහු තනතුරු දුන්න එක. ඒකත් එක්ක ම මැතිවරණයේ දී ආණ්ඩුවට පක්ෂව ඡන්දෙ දුන්න නාගරික සහ අර්ධ නාගරික මැද පංතිය පවා මේ පත්වීම් ගැන කෝචොක් කරන්න පටන් ගත්තා.
ඊට පස්සෙ එහෙම විශේෂයෙන් ම ටාගට් වුණ ඇමතිලගෙ ප්‍රතිරූපය උස්සලා ගන්න ලොකු සමාජ මාධ්‍ය කැම්පේන් එකක් පටන් අරන් තියන බව පෙනුණා. ප්‍රචාරණ ක්ෂෙත්‍රයේ අවුරුදු ගාණක් හිටපු කෙනෙක් විදියට එහෙම කැම්පේන් එකක් දැක්කම අඳුන ගන්න මට බැරිකමක් නෑ. මේකෙ පළවෙනි අදියරේ දී නිමල් ලංසවයි ප්‍රසන්න රණවීරවයි ගොඩ දාන්න උත්සාහ කරන බවයි පේන්න තියෙන්නෙ. ඒ අනුව ලංසලා ගැන ප්‍රසන්නලා ගැන පොඩි පොඩි වීර කතා පත්තරවල ගොසිප් පිටුවල, ගොසිප් වෙබ්සයිට්වල පළ වෙනවා. ඒවා දැකලා පුදුම වන අය ඒ කතා සමාජ මාධ්‍යවල ශෙයාර් කරනවා. ලංසලා, ප්‍රසන්නලා ගැන මිනිස්සු මොනව කිව්වත් එයාලා වැඩට පුදුම කැපවීමක් තියන මිනිස්සු නේද කියලා මිනිස්සු කතා කරන්න ගන්නවා. මෙහෙම අයගෙනුත් මේ විදියට වැඩගන්න පුළුවන් නම් ඇමති මණ්ඩලයට වියතුන් නොදැම්මට අවුලක් නෑ නේද කියල ඒ අය ම අහනවා. පොදුවෙ ගත්තම මේක තමයි තිර පිටපත.
හැබැයි ඒ කැම්පේන් එකේදි නිමල් ලංසව ගොඩදාන්න මෙතෙක් දරලා තියන උත්සාහය සාපේක්ෂව ටිකක් ප්‍රාථමිකයි. උදේ 8ට වැඩ පටන් ගන්න අමාත්‍යාංශයකට ලංසා උදේ 6ට ගිහින් “කෝ තාම කවුරුත් ඇවිල්ල නැද්ද” කියලා සෙකියුරිටි ගාඩ්ගෙන් අහපු කතාව කොහොමත් විහිළුවක් බවට පත් වෙනවා. ඒකෙන් උත්සාහ කරන්න ඇත්තෙ මිනිස්සු මොන චෝදනා කළත් ලංසා කියන්නෙ උදේ පාන්දර ම වැඩ පටන් ගන්න කාර්‍යක්ෂම මිනිහෙක් කියන මතය සමාජයේ පැළ කරන්න. හැබැයි උදේ 6ට ගිහින් නිශ්ශබ්දව ඔෆිස් එකේ වැඩ පටන් අරගෙන මේ රැල්ල ස්වාභාවිකව හැදෙන්න දෙන්නෙ නැතුව ‘කෝ මේකෙ මිනිස්සු’ කියලා දාපු ඕවර් ඇක්ටින් පාර නිසා වැඩේ ගොඩ දාන්න අමාරු වුණා.
ප්‍රසන්න රණවීර වෙනුවෙන් කරන කැම්පේන් එක ඊට වඩා ටිකක් සාර්ථකයි. මැටි ඇමති කියලා හුඟක් අය කියපු ප්‍රසන්න රණවීර ෆේස්බුක් එකේ මහාචාර්යවරයෙක් ලියපු පෝස්ට් එකක් දැකලා ඒ මහාචාර්යවරයාට කතා කරපු එක, බැංකුවල නිලධාරීන්ට කතා කරලා ප්ලාස්ටික් කැට වෙනුවට මැටිවලින් හදපු කැට ගන්න කියපු එක වගේ දේවලින් සාමාන්‍යයෙන් සෝෂල් මීඩියාවලින් විතරක් දේශපාලනය ගැන අහන, දකින, කියවන අයට තාවකාලික වින්දනයක් ලැබෙනවා.
ඒත් මැටි කර්මාන්තය ඇත්තට ම ලංකාවෙ දියුණු කරන්න පුළුවන් විදිහ ගැනත් ඒකෙ පාරිසරික බලපෑම ගැනත් තිරසාර උපායමාර්ග ගැනත් අධ්‍යයනය කරන්න කැමති අයට මේ වින්දනාත්මක සමාජ මාධ්‍ය රැල්ල විහිළුවක් වෙමින් පවතිනවා. හැබැයි එහෙම අය ඉන්නෙ සුළු පිරිසක් නිසා ලංසට වඩා ප්‍රසන්න මේක ටික කාලයක් අල්ලන් ඉඳියි කියලා මට හිතෙනවා.
කොහොම වුණත් සමාජ මාධ්‍ය කැම්පේන්වලින් යන්න පුළුවන් නිශ්චිත දුරක් තියනවා. එතැනට යනකල් මේ විදියේ එක එක සංදර්ශනවලින් දවස ගෙවාගන්න පුළුවන්. ඒත් මේ දුර ගිහින් ඉවර වුණාට පස්සෙ තමයි ඇත්ත සටන පටන් ගන්නෙ. එතැන ඉඳන් ඉදිරියට යන්න මොකක් හරි නිශ්චිත දැක්මක් වුවමනා වෙනවා. හරයක් වුවමනා වෙනවා. කාර්‍ය සාධනයක් වුවමනා වෙනවා. එතැනට යනකල් ප්‍රසන්නටත් ලංසටත් මේ විදියට අපි හැමෝට ම සතුටු බ්‍රේක් දිදී හිටියැහැකි.
කොහොම වුණත් මේ සමාජ මාධ්‍ය කැම්පේන් ඩිසයින් කරන හැමෝම නිල් භාජනේට වැටුණු නරියට උණ දේ මතක් කරගන්න ඕනෙ. ඔළුව නිල් පාටට තියෙන කොට අමුතු සතෙක් කියලා පෙනුණට එහෙන් මෙහෙන් නරි හූ කියන්න ගත්තම නිල් භාජනේට වැටුණු නරියත් හූ කියන්න ගන්නවා. එතකොට තමයි කැළේ අනිත් සත්තු සේරම දැනගන්නෙ තමන් මේ වන්දනා මාන කළේ තව නරියෙකුට ම නේද කියලා.
-රසික ජයකොඩි | 26-08-2020-