Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෑම දෙනාම අයිතිවාසිකම් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ යුතුයි – මහාචාර්ය රත්නජීවන් හූල්

රත්නජීවන් හූල්

රත්නජීවන් හූල්

ඔබගේ අයිතීන් තහවුරු කිරීම සඳහා සෑම දෙනාම ඡන්දය ප්‍රකාශ කල යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මැතිවරණය පිළිබඳ මාධ්‍යන්ට අදහස් දැක්වීමෙදී ප්‍රකාශ කළේය.

ඔහු මේ පිළිබඳව තවදුරටත් ප්‍රකාශ කරමින් සිටියේ,

“අගෝස්තු මස 05 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමෙන්තු මැතිවරණයේදී , කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව මහජනතාව තුළ පවතින බිය හේතුවෙන් ඔවුන් ඡන්දය දැමීම පිළිබඳව දෙගිඩියාවකින් නැතහොත් බියකින් පසුවන තත්වයක් දක්නට ලැබේ. සත්‍ය වශයෙන්ම මහජනතාව මේ සම්බන්ධයෙන් බිය විය යුතු නැත.

අප ඡන්දය ප්‍රකාශ කිරීමේදී කොරෝනා ආසාදනය වැලැක්වීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටින්නෙමු. අප දැනටමත් සෞඛ්‍ය මග පෙන්වීම් පිළිපදිමින් එයට අනුකූල පරිදි ඡන්දය ප්‍රකාශ කල යුත්තේ කෙසේද යන්න සඳහා නිරූපන ඡන්ද පොළක් අත්හදා බලා ඇත්තෙමු.

මැතිවරණ දිනයේදී ඡන්ද පොළක ඡන්දය ප්‍රකාශ කිරීමේදී කොරොනා ආසාදනයට හැකියාවන් බෙහෙවින් අඩු වේ. එනම් ඔබ පාරක ගමන් කිරීමේදී හෝ තම එදිනෙදා කටයුතු සිදු කිරීමෙදී කොරොනා ආසාදනයට ඇති අවස්ථාවලට වඩා ඡන්දපොළක ආසාදනයට ඇති අවස්ථා බෙහෙවින් අඩුව පවතී.

තවද ඔබ ඡන්ද මධ්‍යස්ථානයකට යෑමෙදී මුඛ ආවරණ පැළඳ, අත් සෝදා යන අතර අනෙක් අය පාවිච්චි කළ පෑන් පාවිච්චි නොකරන ආකාරයට සෞඛ්‍ය ක්‍රියාමාර්ග බොහෝමයක් ඡන්ද මධ්‍යස්ථාන වලදී ගෙන ඇත්තෙමු.”

එබැවින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හරියාකාරව භාවිතා කළයුතු බවද තවදුරටත් ඔහු පැවසීය.
-තමිළ්වින්

Exit mobile version