ගෝලීය මට්ටමින් දරු උපත් පහළ යාම සම්බන්ධයෙන් ලෝකයේ නිසි සූදානමක් නොවීම නිසා විශාල වශයෙන් සාමාජයීය බලපෑම් ඇති කිරීමට ඉඩ තිබෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
සාඵල්‍යතා වේග (Fertility rates) පහළ යාම නිසා මේ සියවස අගදී සෑම රටකම පාහේ ජනගහනය සංකෝචනය වීමට ඉඩ ඇත.
2100 වන විට ස්පාඤ්ඤය සහ ජපානය ඇතුළු රටවල් 23 ක ජනගහනය අඩකින් අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.රටවල උපත්වලට වඩා අවුරුදු 80 කරා ළඟා වන සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වනු ඇත.
සිදු වෙමින් පවතින්නේ කුමක්ද?
එහි ප්‍රතිඵලයක් වශයෙන්, මේ සියවස අවසානයේ ලොව ජනගහනය බිලියන 8.8 (කෝටි 880) දක්වා පහළ යනු ඇති බවත් ඊට පෙර වසර 2064 පමණ වන විට එම අගය එහි උපරිමයට එනම් බිලියන 9.7 ට (කෝටි 970) ළඟා වනු ඇති බවත් පර්යේෂකයෝ අපේක්ෂා කරති.
“මේක බැරෑරුම් දෙයක්. ලෝකයේ වැඩි කොටසක් ස්වභාවික ජනගහන පහළ යාමක් දෙසට ගමන් කරමින් සිටිනවා,” පර්යේෂකයෙකු වන මහාචාර්ය ක්‍රිස්ටෝපර් මුරේ බීබීසී වෙත පැවසීය.
“මම හිතන්නේ මේ ගැන සිතීම සහ මෙය කෙතරම් බැරෑරුම් ද යන්න හඳුනා ගැනීම අතිශය අමාරු දෙයක්. එය සුවිශේෂී තත්ත්වයක්. අප සමාජයන් ප්‍රතිසංවිධානය කළ යුතු වෙනවා.”
සාඵල්‍යතා වේගය එනම් එක් කාන්තාවක් බිහි කරන දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය, පහළ යමින් පවතී.
එම අගය දල වශයෙන් 2.1 ට අඩු අගයක් ගන්නේ නම් ජනගහනය සංඛ්‍යාත්මක වශයෙන් පහළ යාම ආරම්භ වේ. 1950 දශකයේ කාන්තාවන් සිය ජීවිත කාලය තුළ බිහි කළ දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය 4.7 ක් විය.
වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ අගැයීම් පිළිබඳ ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි 2017 වසරේදී ගෝලීය සාඵල්‍යතා වේගය 2.4 දක්වා, එනම් අඩකින් අඩු වී ඇත. ඒ සම්බන්ධයෙන් ඔවුන් කළ අධ්‍යයනය මගින් ප්‍රක්ෂේපනය කර ඇත්තේ වසර 2100 වන විට ගෝලීය සාඵල්‍යතා වේගය 1.7 ට පහළ අගයක් ගනු ඇති බවය.
සාඵල්‍යතා වේග පහළ යමින් ඇත්තේ ඇයි?
සරුබව හෝ දරුඵල පිළිබඳ කතා කිරීමේ දී සාමාන්‍යයෙන් මතු වෙන කාරණා සහ සාඵල්‍යතා වේග පහළ යාම අතර සම්බන්ධයක් නොමැත.
ඒ වෙනුවට ඊට හේතු වී ඇත්තේ කාන්තාවන් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට සහ රැකියා වෙත යොමු වීම මෙන්ම පහසුවෙන් උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ හැකියාවයි. එබැවින් දරුවන් අඩු සංඛ්‍යාවක් බිහි කිරීමට කාන්තාවන් නැඹුරු වේ.
සාඵල්‍යතා වේග පහළ යාම විධි ගණනාවකින් සාර්ථක කතාවකි.
වැඩිම බලපෑමකට ලක් වන රටවල් මොනවාද?
2017 වසරේදී මිලියන 128 (කෝටි 12.8) ක උපරිමයකට ළඟා වූ ජපානයේ ජනගහනය මේ සියවස අගදී මිලියන 53 කටත් (කෝටි 5.3) අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.
ඒ හා සමානව ඉතාලියේ ජනගහනය ද එම කාල රාමුව තුළදී මිලියන 61 (කෝටි 6.1) සිට මිලියන 28 (කෝටි 2.8) දක්වා විශාල වශයෙන් පහළ යනු ඇති බව ඇස්තමේන්තු කෙරේ.
ඉහත සඳහන් රටවල් 23 අතර සිටින ජපානය සහ ඉතාලියට අමතරව ඊට ඇතුළත් ස්පාඤ්ඤය, පෘතුගාලය, තායිලන්තය සහ දකුණු කොරියාව යන රටවල ද ජනගහන අඩකටත් අඩු ප්‍රමාණයකින් පහළ යතැයි අපේක්ෂා කෙරේ.
දැනට ලොව වැඩිම සංඛ්‍යාවක් වෙසෙන චීනයේ ජනගහනය වසර හතරක් ඇතුළත එහි උපරිමයට එනම් බිලියන 1.4 ට (කෝටි 140) ළඟා වනු ඇති අතර වසර 2100 වන විට එම සංඛ්‍යාව අඩකින් පමණ, එනම් මිලියන 732 (කෝටි 73.2) දක්වා පහළ යනු ඇතැයි ගණනය කර තිබේ. චීනය වෙනුවට ඉන්දියාව වැඩිම ජනගහනයක් සහිත රට බවට පත් වනු ඇත.
එක්සත් රාජධානිය වසර 2063 පමණ වන විට ජනගහනයේ උපරිමයට, එනම් මිලියන 75 ට (කෝටි 7.5) ළඟා වනු ඇති අතර වසර 2100 වන විට එම අගය මිලියන 71 (කෝටි 7.1) දක්වා පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ නමුත් රටවල් 195 කින් 183 කම සාඵල්‍යතා වේග අඩකින් අඩු වීම සත්‍ය වශයෙන්ම ගෝලීය ගැටළුවක් වනු ඇත.
මෙය ගැටලුවක් වන්නේ ඇයි?
ඉහත කී තත්ත්වය නිසා පරිසරයට හොඳක් වනු ඇතැයි ඔබට සිතිය හැක. ජනගහනය අඩු වන විට කාබන් විමෝචනය මෙන්ම ගොවිබිම් සඳහා කැලෑ එළිපෙහෙළි කිරීම ද අවම වීමට ඉඩ ඇත.
“උඩු යටිකුරු වූ වයස් ඛාණ්ඩවල ව්‍යුහය (තරුණ වයසේ අයට වඩා වයස්ගත පුද්ගලයන් වැඩි වීම) සහ උඩු යටිකුරු වූ වයස් ඛාණ්ඩවල ව්‍යුහය නිසා ඇතිවන නොදන්නා අයහපත් ප්‍රතිවිපාක හැර ඉහත කී කාරණය ඇත්තක් විය හැකියි,” යනුවෙන් මහාචාර්ය මුරේ පවසයි.
අධ්‍යයනයෙන් ප්‍රක්ෂේපිත කරුණු:
- 2017 වසරේදී මිලියන 681 ක්ව (කෝටි 68.1) තිබූ අවුරුදු 5 ට අඩු පුද්ගලයන් සංඛ්‍යාව වසර 2100 වන විට මිලියන 401 (කෝටි 40.1) දක්වා පහළ යනු ඇත.
- 2017 වසරේදී මිලියන 141 ක් වූ (කෝටි 14.1) අවුරුදු 80 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව වසර 2100 වන විට මිලියන 866 (කෝටි 86.6) දක්වා ඉහළ යනු ඇත.
“එය දැවැන්ත සමාජයීය වෙනසක් ඇති කරාවි. මෙය මා කනස්සල්ලට පත් කරන්නක්, මොකද මට අවුරුදු අටක දියණියක් ඉන්නවා. ලෝකය මොන වගේ වේවිදැයි මම කල්පනා කරනවා,” මහාචාර්ය මුරේ වැඩිදුරටත් සඳහන් කරයි.
විශාල වශයෙන් වැඩිහිටියන් වෙසෙන ලෝකයක බදු ගෙවනු ලබන්නේ කවුරුන් විසින්ද? වැඩිහිටියන් රැක බලා ගන්නේ කවුරුන්ද? ඒ වන විට මිනිසුන්ට විශ්‍රාම යා හැකි වෙයිද?
“අපට මෘදු ප්‍රවේශයක් අවශ්‍ය කරනවා,” මහාචාර්ය මුරේ පවසයි.
මේ සඳහා විසඳුම් තිබේද?
සිය ජනගහන ඉහළ දමා ගැනීමට සහ පහත යන සාඵල්‍යතා වේගයන්ට හිලව්වක් වශයෙන් එක්සත් රාජධානිය ඇතුළු රටවල් සංක්‍රමණිකයන් යොදා ගනිති.
කෙසේ නමුත් ලොව සෑම රටකම පාහේ ජනගහනය පහළ යන විට සංක්‍රමණ තවදුරටත් ඒ සඳහා විසඳුමක් නොවනු ඇත.
“ජනගහනය ප්‍රමාණවත් නොවීමත් සමග දේශ සීමා විවෘත කිරීම හෝ නොකිරීම කියන තේරීමේ සිට සංක්‍රමණිකයන් වෙනුවෙන් සෘජු තරගයක් ලබා දීම දක්වා අපිට යන්න වේවි,” මහාචාර්ය මුරේ පෙන්වා දෙයි.
දරුවෙකු ලැබීමෙන් පසු මව්වරුන්ට සහ පියවරුන්ට දෙනු ලබන නිවාඩු වැඩි කිරීම, ළමුන් සඳහා නොමිලේ සේවා සැපයීම, මූල්‍ය දිරිදීමනා සහ වැඩිපුර සේවක අයිතීන් ලබා දීම වැනි ප්‍රතිපත්ති ඇතැම් රටවල් විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. නමුත් මේ සඳහා පැහැදිලි පිළිතුරක් නොමැත.
ස්වීඩනය සිය සාඵල්‍යතා වේගය 1.7 සිට 1.9 දක්වා ගෙන ගොස් ඇතත් ඒ සඳහා සැලකිය යුතු උත්සහයක් දැරූ සෙසු රටවලට එය අභියෝගයක් වී ඇත. සිංගප්පූරුවේ සාඵල්‍යතා වේගය තවමත් 1.3 ක පමණ අගයක් ගනී.
“මම දැක තිබෙනවා මිනිස්සු හිනා වෙලා නිකන් ඉන්නවා. මෙය ඇත්තක් විය හැකි බව ඔවුන් සිතන්නේ නැහැ. වැඩියෙන් දරුවන් හදනවා කියා කාන්තාවන් තීන්දුවකට ඒවි යයි ඔවුන් සිතනවා,” මහාචාර්ය මුරේ කියා සිටී.
“විසඳුමක් සොයා ගන්න බැරි වුනොත් ක්‍රමයෙන් මිනිස්සු නැතිව යාවි. නමුත් ඒක වෙන්න තව ශතවර්ෂ ගණනක් තිබෙනවා.”
කාන්තා අධ්‍යාපනය සහ උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ පහසුකම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ආපස්සට හැරවීමට එරෙහිව පර්යේෂකයෝ අනතුරු අඟවති.
බොහෝ රටවල ජනගහනය පහළ යාමට ප්‍රතිචාර දැක්වීම සඳහා වන ප්‍රතිපත්ති යටපත් වීමට ඉඩ ඇතත් කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍ය හෝ කාන්තා අයිතීන් ඉහළ දැමීමේ උත්සාහය ඊට කැප නොකළ යුතු බව මහාචාර්ය ස්ටෙයින් එමිල් වොල්සෙට් පෙන්වා දෙයි.
අප්‍රිකාවේ තවත්ත්වය කුමක් වෙයිද?
වසර 2100 වන විට බිලියන තුන (කෝටි 300) ඉක්මවා උප සහරා අප්‍රිකානු කලාපයේ ජනගහනය තුන් ගුණයකින් ඉහළ යතැයි අපේක්ෂා කෙරේ. ඉහත කී අධ්‍යයන වාර්තාවට අනුව නයිජීරියාව ලොව වැඩිම ජනගහනයක් සහිත රටවල් අතර දෙවන ස්ථානයට පත් වනු ඇත. එහිදී එරට ජනගහනය මිලියන 791 කට (කෝටි 79.1) ළඟා වනු ඇත.
“මේ තත්ත්වය තුළ රටවල් බොහොමයක අප්‍රිකානු සම්භවයක් සහිත මිනිස්ස්සු විශාල වශයෙන් සිටීවි,” මහාචාර්ය මුරේ පවසයි.
විශාල වශයෙන් අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයන් රටවල් බොහෝ සංඛ්‍යාවක දැක ගත හැකි වුවහොත් ජාතිවාදය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් හඳුනා ගෙන ඇති අභියෝග තවදුරටත් බරපතල වනු ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.
සාඵල්‍යතා වේගය 2.1 ට සීමා කර ඇත්තේ ඇයි?
සෑම දෙමව්පියෙකුටම දරුවන් දෙදෙනා බැගින් ජනගහනය එකම අගයක පවතින සේ එම අගය 2.0 විය යුතු යයි ඔබ සිතිය හැක.
නමුත් හොඳම සෞඛ්‍ය සේවාවක් තිබුන ද සියලුම දරුවන් වැඩිහිටි අවධිය වන තෙක් ජීවත් නොවේ. එමෙන්ම පෙරට වඩා බිලිඳුන් පිරිමි ළමුන් වීමට ඇති නැඹුරුව වැඩිය. ඒ අනුව සංවර්ධිත රටවල සාඵල්‍යතා වේගය 2.1 ට සීමා කර ඇත.
ළමා මරණ වැඩි රටවලට ද ඉහළ සාඵල්‍යතා වේගයක් අවශ්‍ය කෙරේ.
විශේෂඥ මතය කුමක්ද?
“මේ පුරෝකථන අඩකින් නිවැරදි වුවත්, සෑම රටකටම සංක්‍රමණ කියන්නේ විකල්පයක් නොව, අත්‍යවශ්‍ය දෙයක් වේවි,” යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් හි මහාචාර්ය ඉබ්‍රහිම් අබුබකර් පෙන්වා දෙයි.
“සාර්ථක වෙන්න නම් ගෝලීය දේශපාලනය පිළිබඳ අප යළි මූලික යළි සිතා බැලීමක් කළ යුතු වෙනවා.”
“මනුෂ්‍යත්වය දියුණු වෙනවද නැතිනම් නැතිව යනවද යන්න කෙරෙහි වැඩ කල හැකි වයසේ ජනගහන විකාශය අතිශය වැදගත් වනු ඇත.”
-BBC-