Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා – ඉන්දීය යුද හමුදා ‘මිත්‍ර ශක්ති – XII’ ඒකාබද්ධ යුද අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දීය යුද හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවේ 12 වන අදියර වන ‘මිත්‍ර ශක්ති – XII’ යුද අභ්‍යාසය 2026 නොවැම්බර් මස 13 සිට 26 දක්වා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී සාර්ථකව පැවැත් වුණා.

මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 17 දෙනෙකු සහ සෙසු නිලයන් 153 දෙනෙකු ද, ඉන්දීය යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයන් 150 දෙනෙකු ද සහභාගි වි තිබෙනවා.

අභ්‍යාස පාලන හා සහායක අංගයන් ද ඇතුළුව භටපිරිස් 650කට අධික සංඛ්‍යාවක් මෙම වැඩසටහන සඳහා දායක වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ඒ සඳහා සහාය ලබා දුන්නා.

අභ්‍යාසයේදී බලඇණි මට්ටමේ කැරලි මර්දන මෙහෙයුම්, ගුවන් සහාය ඒකාබද්ධ කිරීම, නගරබද හා කැලෑබද සටන්, ජීව වෙඩි තැබීම්, රැක සිට පහරදීමේ මෙහෙයුම්, යුද රථ පෙළවල ආරක්‍ෂාව තහවුරු කිරීම සහ මහජන සාමය තහවුරු කිරිමේ මෙහෙයුම් ඇතුළු විවිධ උපක්‍රමික පුහුණු ක්‍රියාකාරකම් සිදු කෙරුණා.

එමෙන්, විශේෂ බළකා පුහුණු පහසුකම් නිරීක්‍ෂණය කිරීම, සටන් පුහුණු උපකරණ භාවිතය සහ විවිධ මෙහෙයුම් අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රායෝගික පුහුණුවීම් ද ඊට ඇතුළත්.

Exit mobile version