Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

PSTA පනත් කෙටුම්පත ගැන සිවිල් සමාජ අදහස් කාරක සභාවේදී විමසයි!

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් සිවිල් සමාජ නියෝජිතයන්ගේ අදහස් විමසයි.
—————————–
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සහ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා විමසීම රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු විය.

ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (23) රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සහ අදාළ පාර්ශ්වයන් විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ පවතින ගැටලු පිළිබඳව කාරක සභාවට කරුණු දැක්වූහ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් පැවතියද, ඒ වෙනුවට නව පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව සහ එහි අන්තර්ගතය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ද මෙහිදී එම සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් පෙන්වා දෙන ලදී.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කිරීමේ අරමුණින් නව පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව, පනත් කෙටුම්පත සම්පාදනය කළ කමිටුව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා හමුදා නිලධාරීන් ඇතුළු වගකිවයුතු පාර්ශ්වයන් විසින් මෙහිදී අවධාරණය කරමින් කරුණු දක්වන ලදී.

පනත් කෙටුම්පත සකස් කිරීමේදී පුළුල් මහජන සහභාගීත්වයක් ලබා ගෙන ඇති බවත්, ඉදිරියේදී ද සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සමග තවත් සාකච්ඡා වට කිහිපයක් පවත්වන බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, මුජිබුර් රහුමාන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, එම්.කේ.එම්. අස්ලම්, චන්දන සූරියආරච්චි ,ධර්මප්‍රිය විජේසිංහ, සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් ද, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
.

Exit mobile version