ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක නොමිලේ අක්ෂිකාච බද්ධ කිරීමේ දෙවන අදියරත් සාර්ථකව අවසන්
ගම්පහ දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින අඩු ආදායම්ලාභී රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නොමිලේ ඇසේ සුද ඉවත් කර අක්ෂිකාච බද්ධ කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ, තවත් රෝගීන් 100 දෙනෙකු සඳහා සිදු කළ අක්ෂි ශල්‍යකර්ම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී සාර්ථකව නිමාවට පත්ව තිබේ.
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතාගේ විශේෂ ඉල්ලීමක් මත, ISRC Sri Lanka සමාජ සේවා ආයතනයේ සම්බන්ධීකරණයෙන් සහ පූර්ණ අනුග්‍රහයෙන් මෙන්ම කුවයිට් රාජ්‍යයේ අල-නජාත් පුණ්‍ය ආයතනයේ මූල්‍ය ආධාර යටතේ මෙම සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මීට මාසයකට පමණ පෙර මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ද රෝගීන් 100 දෙනෙකුට නොමිලේ ශල්‍යකර්ම සාර්ථකව සිදු කර අවසන් කර තිබුණි. පෞද්ගලික රෝහල්වලදී ඉතා අධික මුදලක් වැය වන මෙම සංකීර්ණ අක්ෂි ශල්‍යකර්ම, ආර්ථික අපහසුතා හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබේ.
මෙම වැඩසටහනේ ප්‍රගතිය සහ ශල්‍යකර්ම සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා ද රෝහල වෙත පැමිණි අතර, එහිදී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසා බැලීමට ද කටයුතු කළේය. දිගු කලක් තිස්සේ දෘශ්‍යාබාධයන්ගෙන් පෙළෙමින් සිටි තමන්ට යළි පෙනීම ලබා දීමට දායක වූ කුවයිට් අල-නජාත් පුණ්‍ය ආයතනයට, ISRC Sri Lanka ආයතනයට සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු සියලු දෙනාට ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිය හෘදයාංගම කෘතඥතාව පළ කර සිටියහ.
