Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් තුනක් අයවැය කාලසීමාව තුළ පාර්ලිමේන්තු විවාදයට!

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අයවැය කාලසීමාව තුළ පනත් කෙටුම්පත් තුනක් සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාද පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
​ඒ අනුව, නොවැම්බර් 23 වැනි සඳුදා පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වෙන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයෙන් අනතුරුව, විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත (Prevention of Foreign Terrorist Fighters Bill) පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා පැවැත්වීමට තීරණය විය.
​තවද, දෙසැම්බර් 5 වැනි සෙනසුරාදා පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වෙන තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයන්ගෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත (Sri Lanka Cricket Bill) ප.ව. 6.00 සිට ප.ව. 9.00 දක්වා (දෙවන වර කියවීමේ) විවාදයට ගැනීමට නියමිතය.
​එමෙන්ම, දෙසැම්බර් 7 වැනි සඳුදා පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වෙන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයන්ගෙන් අනතුරුව, ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ (Elimination of Rabies and Registration of Dogs Bill) කාරක සභා අවස්ථාව සහ තෙවන වර කියවීම ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා පැවැත්වේ. (මෙම පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය 2026 ඔක්තෝබර් 23 වැනිදා පවත්වා පසුව කල් තබන ලදී.)
​ඒ අනුව, ඉහත සඳහන් දිනයන්හිදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනා (Motions at the Adjournment Time) විවාදයට නොගන්නා බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
​මේ අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභා පත් කිරීමට අදාළ යෝජනා තුනකට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබේ.
​ඒ අනුව, පහත සඳහන් විශේෂ කාරක සභා තුන පත් කිරීම සඳහා අනුමැතිය හිමිව ඇත:
​කොවිඩ්-19 (COVID-19) වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ, නිර්දේශිත සම්මත සහ ආරක්ෂිත ක්‍රියාපටිපාටීන්, සංස්කෘතික වටිනාකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කරමින් බැහැර කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධ කරුණු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
​ස්වාධීන තරුණ කොමිෂන් සභාවක් (Independent Youth Commission) පිහිටුවීම පිළිබඳව පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
​කාවන්තිස්ස ඇතාගේ මරණය, ඊට අදාළ බලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ වනජීවී ආරක්ෂණ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව විමර්ශනය කර, එවැනි සිදුවීමක් යළි ඇතිවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.

Exit mobile version