ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට එකඟතා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Humaiun Kobir මහතා පසුගියදා (නොවැම්බර් 18) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.
ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කිරීම පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතාට ස්තුතිය පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා, 2024 වසරෙන් පසු බංග්ලාදේශයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය බව සඳහන් කළේය. දෙරටම ආර්ථික අභියෝගවලට මුහුණ දී සිටින බැවින්, දෙරටේම දියුණුව වෙනුවෙන් සමීපව කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී ශ්‍රී ලංකා රජය ආරම්භ කළ ‘Clean Sri Lanka’ සහ ‘ප්‍රජාශක්ති’ වැඩසටහන් බංග්ලාදේශ රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් වූ අතර, දරිද්‍රතාව තුරන් කිරීම දෙරටටම වැදගත් ප්‍රමුඛතාවක් බවත් බංග්ලාදේශය ද ඒ හා සමාන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු පැවසීය.
කලාපීය රටවල් සමඟ අන්‍යෝන්‍ය ප්රතිලාභ වෙනුවෙන් සමීපව කටයුතු කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී අවධාරණය කළේය. වෙළෙඳ, වාණිජ, අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට බංග්ලාදේශයේ සහාය ඉල්ලා සිටි අමාත්‍යවරයා, එළඹෙන Expo 2027 ප්‍රදර්ශනයට බංග්ලාදේශ ව්‍යාපාරික නියෝජිත පිරිසක් සහභාගී කරවීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය. ඒ සඳහා සහාය ලබාදීමට රාජ්‍ය අමාත්‍යවරයා එකඟතාව පළ කළේය.
මීට අමතරව, බංග්ලාදේශයේ ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා රජයන් දෙක අතර ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව සලකා බලන ලෙස රාජ්‍ය අමාත්‍ය Humaiun Kobir මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි අතර, දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා වරණීය වෙළඳ ගිවිසුම (Preferential Trade Agreement) යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා බංග්ලාදේශයෙන් ඉල්ලා සිටියේය.
1972 වසරේදී ආරම්භ වූ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කළ දෙපාර්ශ්වය, සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ විය. මෙම හමුවෙන් අනතුරුව, දෙරට අතර පුළුල් සහයෝගීතාවක් ඇති කිරීම සඳහා බංග්ලාදේශ – ශ්‍රී ලංකා ඒකාබද්ධ උපදේශක කොමිසමක් පිහිටුවීමට අදාළ අවබෝධතා ගිවිසුමකට (MoU) ද අත්සන් තැබිණි.
බංග්ලාදේශයෙන් ඖෂධ ගැනීමට සහ වෙළෙඳ ගිවිසුම් යළි සක්‍රීය කිරීමට සාකච්ඡා!

