ශ්‍රී ලාංකේය තරුණ පරපුරට ජාත්‍යන්තර අත්දැකීම්, නායකත්ව පුහුණුව, සංස්කෘතික හුවමාරු සහ වෘත්තීය සංවර්ධන අවස්ථා උදාකර දෙමින් ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කරන විදේශීය පුහුණු හා තරුණ හුවමාරු වැඩසටහන්වල කැපීපෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව තිබේ.
ඒ අනුව 2024 ඔක්තෝබර් මාසයේ සිට 2026 නොවැම්බර් මාසය දක්වා වූ වසර දෙකක කාලය තුළ ජාත්‍යන්තර සමුළු, තරුණ හුවමාරු වැඩසටහන්, සංස්කෘතික උළෙල සහ විවිධ පුහුණු වැඩසටහන් සඳහා මෙරට තරුණ තරුණියන් 107 දෙනෙකු සහ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් 15 දෙනෙකු විදේශගත කර ඇත. මෙලෙස විදෙස්ගත කළ තරුණ තරුණියන් 107 දෙනා අතර ජාතික තරුණ සේවා සභාවේ විදේශ සංචිතයේ තරුණ තරුණියන්, සංගීත සහ නර්තන කණ්ඩායම්වල සාමාජිකයින් මෙන්ම යෞවන සමාජ නියෝජනය කරන තරුණ තරුණියන් ද ඇතුළත් වේ.
ජාතික තරුණ සේවා සභාවේ විදේශ සංචිතය සඳහා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවා ඕනෑම අයෙකුට ඒ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව සලසා දී තිබූ අතර, ඒ අනුව පළමුව දිස්ත්‍රික් සම්මුඛ පරීක්ෂණ පවත්වා මුල් වටයේ තෝරාගැනීම් සිදු කර තිබේ. ඉන්පසු ජාතික මට්ටමින් පැවැති සම්මුඛ පරීක්ෂණයකින් පසු තෝරාගත් තරුණ තරුණියන් සඳහා දින 5ක නේවාසික පුහුණුවක් ලබා දීමට ද කටයුතු කෙරිණි.
ඉන්දීය – ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරුණ හුවමාරු වැඩසටහන්, Ship for World Youth ජාත්‍යන්තර තරුණ වැඩසටහන, BIMSTEC සහ CICA තරුණ සමුළු මෙන්ම රුසියාවේ පැවැති International Festival of Youth ඇතුළු ජාත්‍යන්තර වැඩසටහන් රැසක් සඳහා මෙරට තරුණ නියෝජනය ලබාදීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු කර තිබේ.
මේ අතර, HOPE 87 ආයතනයේ ආරාධනයෙන් බංග්ලාදේශයේ ඩකා නුවර නොවැම්බර් 10 සිට 20 දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ජාත්‍යන්තර තරුණ හුවමාරු වැඩසටහන සඳහා ජාතික තරුණ විදේශ සංචිතයෙන් තෝරාගත් තරුණ තරුණියන් 17 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත් කණ්ඩායමක් ද මේ වන විට සහභාගී වී සිටියි. එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඔවුන් වෙත ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ජාතික තරුණ සේවා සභාවේ විදේශීය වැඩසටහන්වල මෙම ප්‍රගතිය ඊට පෙර පැවති දත්ත සමඟ සැසඳීමේදී වඩාත් පැහැදිලි වේ. 2019 වසරේ සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා වූ වසර පහකට ආසන්න කාලය තුළ විදේශීය වැඩසටහන් සඳහා සහභාගී කරවා තිබූ සමස්ත තරුණ තරුණියන් සංඛ්‍යාව 94ක් පමණි. එනම්, 2019 වසරේදී තරුණ තරුණියන් 50ක් සහ නිලධාරීන් 10ක්, 2020 වසරේදී තරුණ තරුණියන් 22ක් සහ නිලධාරීන් දෙදෙනෙක්, 2021 වසරේදී තරුණ තරුණියන් 7ක් සහ නිලධාරියෙක්, 2022 වසරේදී තරුණ තරුණියන් දෙදෙනෙක් සහ නිලධාරීන් තිදෙනෙක්, 2023 වසරේදී තරුණ තරුණියන් තිදෙනෙක් සහ නිලධාරීන් පස්දෙනෙක් මෙන්ම 2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ තරුණ තරුණියන් 10ක් සහ නිලධාරීන් හයදෙනෙකු වශයෙනි. නමුත් 2024 ඔක්තෝබර් මාසයෙන් පසු ගෙවුණු වසර දෙකක කාලසීමාව තුළ පමණක් තරුණ තරුණියන් 107 දෙනෙකුට ජාත්‍යන්තර අවස්ථා ලබාදීමට හැකිවීම විශේෂත්වයකි.
තරුණ පරපුරට ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීම හුදෙක් විදේශ සංචාරයකට සීමා නොවන අතර, ලෝකයේ නව ප්රවණතා හඳුනාගැනීමට, විවිධ රටවල තරුණ ප්‍රජාව සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට, නායකත්ව හා සන්නිවේදන හැකියාවන් වර්ධනය කරගැනීමට මෙන්ම එම අත්දැකීම් මෙරට තරුණ සංවර්ධනය වෙනුවෙන් යොදාගැනීමට ද ලැබෙන වැදගත් අවස්ථාවකි. ඒ අනුව, ජාතික තරුණ විදේශ සංචිතය ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ජාත්‍යන්තර වේදිකාව තුළ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වැඩි අවස්ථා උදාකර දීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වී තිබේ.
වසර දෙකක් තුළ මෙරට තරුණ තරුණියන් 107 දෙනෙකුට ජාත්‍යන්තර පුහුණු හා හුවමාරු අවස්ථා!

