Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආදායම ඉහළ ගියත් ශ්‍රීලංකන් ගුවන් සේවය මාස 3කට රුපියල් බිලියන 35.6ක පාඩුවක් වාර්තා කරයි!

ආදායම ඉහළ ගොස් තිබියදීත්, 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු මාස තුන තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 35.6ක බදු පෙර පාඩුවක් වාර්තා කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ මධ්‍ය වාර්ෂික මූල්‍ය තත්ත්ව වාර්තාව උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, අදාළ කාලසීමාව තුළ ජාතික ගුවන් සේවය රුපියල් බිලියන 82.8ක ආදායමක් උපයා ඇති බවයි.

පෙර මූල්‍ය වර්ෂයේ අදාළ කාලසීමාවේදී එය රුපියල් බිලියන 62.6ක් ලෙස සටහන්ව තිබුණා.

කෙසේ වෙතත්, ගුවන් සේවයේ වියදම් රුපියල් බිලියන 67.8 සිට රුපියල් බිලියන 95.2 දක්වා සියයට 40.4කින් ඉහළ ගොස් තිබෙනවා.

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන පිරිවැය සියයට 93කින් ඉහළ යාම මෙලෙස වියදම් සීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

ඒ අනුව, අදාළ කාර්තුව තුළ ගුවන් සේවය රුපියල් බිලියන 12.5ක ඇස්තමේන්තුගත මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇති අතර, විදේශ විනිමය ආශ්‍රිත පීඩනයන් ද එහි මූල්‍ය ක්‍රියාකාරිත්වයට තවදුරටත් බලපෑම් එල්ල කර තිබෙනවා.

ව්‍යුහාත්මක දුර්වලතා, ද්‍රවශීලතා ගැටලු, අධික නඩත්තු පිරිවැය සහ විශාල ණය බර ගුවන් සේවයේ මූල්‍ය තිරසාරභාවයට බලපාන ප්‍රධාන අභියෝග ලෙසයි අමාත්‍යාංශය හඳුනාගෙන ඇත්තේ.

මේ අතර, රජය විසින් ජාතික ගුවන් සේවයට අඛණ්ඩව මූල්‍ය ආධාර ලබා දී ඇති බව සඳහන්.

අමෙරිකානු ඩොලර් මිලියන 175ක ණයක් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු, ඩොලර් මිලියන 126.5ක ප්‍රතිව්‍යුහගත බැංකු වගකීමක් පසුගිය මාර්තු 20 වැනිදා රජයේ ණය තොගයට පවරා ඇති අතර, ගුවන් සේවයේ කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා අමතර ඩොලර් මිලියන 30ක් ද ලබා දී ඇති බව සඳහන්.

ගුවන් සේවයේ දිගුකාලීන මූල්‍ය තිරසාරභාවය සහ එය රාජ්‍ය මූල්‍යයට ඇති කරන බලපෑම පිළිබඳව අඛණ්ඩව මතුව ඇති අවධානය මධ්‍යයේයි මෙම නවතම මූල්‍ය දත්ත නිකුත් වී ඇත්තේ.

Exit mobile version