ශ්‍රී ලංකාව පුරා පිහිටි සියලුම පෙරපාසල් ගුරුවරුන් සඳහා නොමිලේ පවත්වන පුළුල් ජාතික මට්ටමේ ගුරු පුහුණු වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සහ ජාතික අධ්‍යාපන ආයතනය (NIE) එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ජාතික පෙරපාසල් ප්‍රතිපත්තියක් බලාත්මක කිරීම, පෙරපාසල් ලියාපදිංචි කිරීම, ව්‍යූහගත විෂයමාලා රාමුවක් හඳුන්වා දීම සහ ගුරුවරුන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමයි.
අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ ජාතික මට්ටමේ ප්‍රධාන පුහුණුකරුවන් (master trainers) 108 දෙනෙකු සහ පළාත් මට්ටමේ පුහුණුකරුවන් 556 දෙනෙකු යොදාගනිමින් දිවයින පුරා සිටින 35,000කට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පිරිසක් පුහුණු කිරීමට නියමිත අතර, සෑම ගුරුවරයෙකුටම දින 10ක පුහුණුවක් හිමිවේ. පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මේ වන විටත් පළාත් අටක ආරම්භ කර ඇති අතර, සබරගමුව පළාතේ වැඩසටහන නොවැම්බර් 11 වන දින ආරම්භ කිරීමට නියමිතය. මීට අමතරව, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සහ පහසුකම් සඳහා සහය දැක්වීම වෙනුවෙන් විශේෂ විධිවිධාන ද සකස් කරමින් පවතී.
ලංකාවේ සියලුම පෙරපාසල් ගුරුවරුන්ට නොමිලේ ජාතික මට්ටමේ පුහුණුවක් – රජයෙන් තීරණයක්!

