Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​ඌවපරණගම නායයෑමේ අවදානම් කලාපයේ පවුල් 51කට ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස ඉදිකිරීම ඇරඹෙයි

ඌවපරණගම අලගොල්ලේ නායයෑමේ අධි අවදානම් කලාපයේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32ක් වටිනා නව නිවාස ඉදිකිරීම ඇරඹේ
​
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව, ඉන්දියානු රජයේ ආධාර සහ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ ඌවපරණගම අලගොල්ල වතුයායේ නව නිවාස 51ක් ඉදිකිරීමේ මුල්ගල තැබීම සැප්තැම්බර් 29 වනදා පෙරවරු 9.00ට සිදු කිරීමට නියමිතය.

​වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම මුල්ගල තැබීමේ උත්සවය පැවැත්වේ.

​නායයෑමේ අධි අවදානම් සහිත ප්‍රදේශයක පිහිටි අනාරක්ෂිත ලැයිම් නිවාසවල වසර 13කට අධික කාලයක් අසීරුතාවලට මුහුණ දෙමින් ජීවත් වූ පවුල් 51ක් උදෙසා මෙම නව නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මලයගම් ප්‍රජාව වෙත සුරක්ෂිත, ගුණාත්මක මෙන්ම ගෞරවනීය ජීවන තත්ත්වයක් උරුම කරදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

​මෙහිදී ඉදිවන එක් නිවාස ඒකකයක් සඳහා ඉන්දියානු රජය මගින් රුපියල් ලක්ෂ 28ක මූල්‍ය ප්‍රතිපාදන සැපයෙන අතර, අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මගින් එක් නිවසකට රුපියල් ලක්ෂ 4 බැගින් වෙන් කර ඇත. ඒ අනුව එක් නිවසක සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 32කි.

​දිගුකාලීන නායයෑමේ අවදානමෙන් මුදාගෙන මෙම ජනතාවට සුරක්ෂිත හා ස්ථිර නිවාස හිමිකර දීම මගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පියවර ගැනේ.

Exit mobile version