Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු මහ නඩුවේ තීන්දුව අද

2019 වසරේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රධාන නඩුවේ තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන් යන කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විනිසුරුවරුන් ඉදිරියේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.

සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනෙකුට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව නිතිපතිවරයා විසින් මෙහිදී චෝදනා ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ අධිකරණය විසින් චූදිතයින්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස පිළිගෙන ඇති අතර, සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය, තියුණු ආයුධ, ගිනි අවි ඇතුළු ද්‍රව්‍ය 2,076ක් නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති බව අධිකරණය හමුවේ අනාවරණය වුණා.

මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටි සංචාරකයන් හතළිස් දෙනෙකුට ආසන්න පිරිසක්, කුඩා ළමයින් තිස්පස් දෙනෙකුට ආසන්න පිරිසක් ඇතුළු පුද්ගලයන් 274 දෙනකු මරණයට පත්වූ අතර, තවත් 577 දෙනෙකුට තුවාල සිදුවුණා.

Exit mobile version