ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන සඳහා වඩාත් පහසු සහ සංවිධානාත්මක පරිපාලන පරිසරයක් නිර්මාණය කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස සෙත්සිරිපාය තෙවන අදියර කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම අද (28) සිදුකෙරිණ.
ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙනි.
2019 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලදුව විවිධ අර්බුද හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අතරමග නවතා දමා තිබිණි. සෙත්සිරිපාය තෙවන අදියර කාර්යාල සංකීර්ණය මහල් 25 කින්, වර්ග අඩි දහතුන්ලක්‍ෂ පනස්නවදහස් හාරසිය තිස්නවයක වපසරියකින් යුක්තය.
රුපියල් බිලියන 33.02 ක ආයෝජනයකින් මෙහි ඉදිකිරීම් සිදුකෙරෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය සමග බලශක්ති අමාත්‍යංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන ආයතන සමපාර්ශ්වකාරිත්වයෙනි.
එසේම වෙනත් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන සඳහා නවීන කාර්යාල පහසුකම්, සම්මන්ත්‍රණ ශාලා, මහජන සේවා මධ්‍යස්ථාන, වාණිජ පහසුකම් සහ රථ ගාල් කිරීමේ පහසුකම් සහිතව මහජන සේවාවන් ලබාදීමට හැකිවන පරිදි මෙය නිර්මාණය කෙරේ.
අනාගත පරිපාලන කාර්යක්ෂමතාව, රාජ්‍ය සේවා නවීකරණය සහ ජාතික ආර්ථිකයේ වර්ධනයට ලබාදිය හැකි දායකත්වය වෙනුවෙන් අවධානය යොමුකර මෙම ව්‍යාපෘතිය මාස තිහක් ඇතුලත ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත.
කොළඹ කොටුව ඇතුළු කොළඹ නගරයේ ස්ථාපිත රජයේ කාර්යාල බත්තරමුල්ල ප්‍රදේශයට විතැන් කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට රාජ්‍ය ආයතන රැසක් බත්තරමුල්ල ආශ්‍රිතව ස්ථාන ගතකර ඇත. කොළඹ පරිපාලන නගරය වාණිජ නගරයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් පරිපාලන සේවා බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කලාපය වෙත ක්‍රමිකව ස්ථානගත කරමින් පවතී.

