Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බේරාගැනීමට තෙල්දෙණිය OIC ට ලක්ෂ 5ක අල්ලසක් දීමට ගිය අයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බේරාගන්න පොලීසියට අල්ලස් දෙන්න ගිය තරුණයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බේරාගන්න පොලීසියට අල්ලස් දෙන්න ගිය තරුණයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස මුදා ගැනීම සඳහා තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත රුපියල් ලක්ෂ පහක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් ජූලි 31වනදා තෙල්දෙණිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 385ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන, තෙල්දෙණිය අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකර ඇත.

එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 795 ක්ද සමඟ තැන්නේකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

කෙසේවෙතත් මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කරගැනීම සඳහා තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට වෙනත් පුද්ගලයෙකු උත්සාහ කර ඇත.

එහිදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ක්‍රියාත්මක කළ උපක්‍රමශීලී මෙහෙයුමකින් අදාළ අල්ලස් මුදල ලබාදීමට පැමිණි පුද්ගලයා තෙල්දෙණිය පොලිස් ස්ථානය තුළදීම අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර, තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.

ඔහු සන්තකයේ තිබූ රුපියල් 5,000/- නෝට්ටු 100ක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුට එරෙහිව අල්ලස් පනතේ ප්‍රතිපාදනවලට අනුව ඉදිරි ව් පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැනුවත් කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.

Exit mobile version