2017 වර්ෂයේ ඇති වූ ස්වාභාවික නායයෑම් ව්‍යසනයෙන් පසු වසර නවයකට ආසන්න කාලයක් වරින්වර අවතැන් කඳවුරුවල සහ තාවකාලික නවාතැන්වල අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය මධ්‍යයේ ජීවත් වූ කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වෝගන් වතුයායේ දීගල්ල කොටසේ රතු නිවේදන නිකුත් කළ අවදානම් කලාපයේ පවුල් 16කගේ දිගුකාලීන නිවාස සිහිනය යථාර්ථයක් කරමින් අංග සම්පූර්ණ ස්ථීර නිවාස 16ක් ඉදිකිරීම සදහා මුල්ගල තැබීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) පෙරවරුවේ වෝගන් වතුයායේ දී පැවැත්විණි.
ස්ථීර ආරක්ෂිත නිවසක් නොමැතිව වසර ගණනාවක් විවිධ දුෂ්කරතා මැද ජීවත් වූ මෙම පවුල් සඳහා මෙම ව්‍යාපෘතිය නිවාස ලබාදීමේ වැඩසටහනක් පමණක් නොව, ඔවුන්ගේ ජීවිතයට සුරක්ෂිතභාවය, ගෞරවය, ස්ථාවරත්වය සහ අනාගතය පිළිබඳ නව බලාපොරොත්තුවක් උදාකර දෙන සමාජ සාධාරණත්වයේ වැදගත් පියවරක් වේ.
වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 57.6ක මුදලක් වෙන් කර ඇති අතර, නිවාස ඉදිකිරීමට අමතරව මාර්ග පද්ධතිය, විදුලිය, පානීය ජලය ඇතුළු සියලු මූලික යටිතල පහසුකම් සංවර්ධනය කර ප්‍රතිලාභීන්ට සුරක්ෂිත හා තිරසාර ජීවන පරිසරයක් උදාකර දීමට සැලසුම් කර තිබේ.
ඉදිකිරීමට නියමිත සෑම නිවසක්ම නිදන කාමර දෙකකින්, විසිත්ත කාමරයකින්, මුළුතැන්ගෙයකින්, නාන කාමරයකින් සහ වැසිකිළියකින් සමන්විත අංගසම්පූර්ණ නිවසක් වන අතර, මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට නිවාස ඉදිකිරීම් අවසන් කර ප්‍රතිලාභී පවුල් වෙත භාරදීමට නියමිතය.
2017 වසරේ නායයෑම් ව්‍යසනයෙන් පසු රතු නිවේදන නිකුත් කළ අවදානම් කලාපයෙන් අවධානම් තත්ත්වය අනූව වරින්වර ඉවත් කෙරුණු මෙම පවුල් වසර නවයකට ආසන්න කාලයක් ස්ථීර නිවසක හිමිකමක් නොමැතිව ජීවත් වූහ. ජීවිතයේ අඳුරුම කාල පරිච්ඡේදය පසු කළ ඔවුන්ගේ එම දිගු අපේක්ෂාවට සාධාරණ පිළිතුරක් ලබාදෙන මෙම නිවාස ව්‍යාපෘතිය, නිවසක් පමණක් නොව, ආරක්ෂාව, ගෞරවය සහ අනාගතය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනඟන මානුෂීය සංවර්ධන වැඩසටහනක් ලෙස සැලකනු ලබයි.

