Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන ඉරානයේ දැඩි විරෝධය

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන ඉරානයේ දැඩි විරෝධය

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන ඉරානයේ දැඩි විරෝධය

බ්‍රිතාන්‍ය රජය විසින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ ඊට අනුබද්ධ කණ්ඩායමක් බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් ලෙස නිල වශයෙන් නම් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ “රාජ්‍ය තර්ජන මර්දන පනත” යටතේ මෙම නම් කිරීමට පියවර ගැනීමත් සමඟ, ඉරානයේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා ඒ සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කර ඇති බව සඳහන් වේ.

පසුගිය මාස කිහිපය තුළ යුරෝපය පුරා ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරානය විසින් සිය සටන්කාමී කණ්ඩායම් මෙහෙයවා ඇති බවට බ්‍රිතාන්‍ය රජය චෝදනා කරයි.

එම චෝදනාව මත පදනම්ව, ලන්ඩන් නුවර සිටින ඉරාන තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී අලි නසීම්ෆර් කැඳවීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබුණි.

ඉරානය විසින් බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා ඇත්තේ ඉන් දිනකට පසුවය.

විදේශීය රාජ්‍යයන් විසින් ඔත්තු බැලීම සහ කඩාකප්පල්කාරී ක්‍රියා වැනි ක්‍රියාකාරකම් සඳහා වෙනත් සටන්කාමී කණ්ඩායම් යොදා ගැනීම වැළැක්වීමේ අරමුණින් බ්‍රිතාන්‍යය විසින් මෑතකදී නව බලතල සහිත පනතක් හඳුන්වා දී ඇත.

මෙම පියවරත් සමඟ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් දැඩි නොසන්සුන්කාරී මුහුණුවරක් ගෙන ඇති බව විදෙස් පුවත් වැඩිදුරටත් පවසයි.

Exit mobile version