Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදෙස්ගත ශ්‍රමිකයින්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ළඟදිම

විදෙස්ගත ශ්‍රමිකයින්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ළඟදිම

විදෙස්ගත ශ්‍රමිකයින්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ළඟදිම

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් වඩාත් නම්‍යශීලී මෙන්ම ආකර්ෂණීය නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා පවසයි.

ඊයේ(10) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුර ඔහු මෙම අහහස් පල කර තිබේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, සාම්ප්‍රදායික එකම රටාවකට සීමා වූ ක්‍රමවේද වෙනුවට, නව විශ්‍රාම වැටුප් ක්‍රමය ශ්‍රමිකයන්ගේ සේවා කාලය සහ ආදායම් මට්ටම්වලට ගැළපෙන පරිදි ප්‍රතිලාභ හිමිවන අයුරින් සකස් කර ඇති බවයි.

මෙම යෝජිත ක්‍රමය යටතේ විදේශගත ශ්‍රමිකයන්ට තම විශ්‍රාම දිවියෙන් පසු මාසික විශ්‍රාම වැටුපක් ලබාගැනීමට හෝ නිශ්චිත කාලසීමාව සම්පූර්ණ වූ පසු එකවර විශාල මුදලක් ලබාගැනීමටද අවස්ථාව හිමිවනවා.

මෙම “රටවිරු” විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවෙන් කුවේට් අරමුදල මඟින් රුපියල් මිලියන 2.1ක මුදලක් වෙන් කර ඇති බව පැවසූ හේමචන්ද්‍ර මහතා, 2026 දෙසැම්බර් 31 වනදාට පෙර මෙහි සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළා.

මීට අමතරව, විදේශගත ශ්‍රමිකයන්ගේ නිල ප්‍රේෂණ වාර්තා (Remittance reports) සකස් කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව විශේෂිත ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවද ඔහු අනාවරණය කළා.

මෙමඟින් ශ්‍රමිකයන් නීත්‍යානුකූලව ලංකාවට එවූ මුදල් පිළිබඳ සත්‍යාපිත වාර්තා ලබාගත හැකි අතර, විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ගණනය කිරීමේදී එම වාර්තා විනිවිදභාවයකින් යුතුව භාවිත කිරීමට නියමිතයි.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ දත්තවලට අනුව, මේ වන විට ශ්‍රී ලාංකිකයන් මිලියන 1.7ක් පමණ විදේශ රැකියාවල නිරතව සිටින අතර, ශ්‍රී ලංකාව 2025 වසරේදී ඉතිහාසයේ ඉහළම වාර්ෂික විදේශ ප්‍රේෂණ ආදායම වාර්තා කර තිබුණද, දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇත්තේ විදේශගත ශ්‍රමිකයන් 307 දෙනෙකු පමණයි.

මෙම යෝජිත සුභසාධන වැඩසටහන ස්වේච්ඡාවෙන් දායක විය හැකි ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වන අතර, එය ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Exit mobile version