ත්‍රිකුණාමලය සහීරා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල අසාධාරණ ලෙස රඳවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්, විභාග දෙපාර්තමේන්තුව සහ එහි හිටපු කොමසාරිස් ජනරාල්වරයා ශිෂ්‍යාවන්ගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබේ.
ආගමික නිදහස, නීතිය ඉදිරියේ සමානාත්මතාවය, වෙනස්කම් නොකිරීම සහ මානව ගරුත්වය ආරක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති මෙම ක්‍රියාවෙන් උල්ලංඝනය වී ඇතැයි කොමිසම පෙන්වා දී ඇති අතර, විභාග දෙපාර්තමේන්තුවට වැදගත් නිර්දේශ ගණනාවක් ද ඉදිරිපත් කර ඇත.
සිද්ධියේ පසුබිම
2024 ජනවාරි මාසයේ පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයේ දී, ත්‍රිකුණාමලය ශාන්ත ජුසේ විද්‍යාලයීය ජාතික පාසල් විභාග මධ්‍යස්ථානයෙන් පෙනී සිටි ත්‍රිකුණාමලය සහීරා විද්‍යාලයේ මුස්ලිම් ශිෂ්‍යාවන් 70 දෙනෙකුගේ පමණ විභාග ප්‍රතිඵල රඳවා තබන ලදී. විභාග අපේක්ෂකයින් බ්ලූටූත් වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිත කරන්නේ ද යන්න තහවුරු කර ගැනීමට ඔවුන්ගේ කන් පැහැදිලිව පෙනෙන සේ තිබිය යුතුය යන විභාග රීතිය (ගැසට් අංක 2,137, වගන්තිය 17(IV)) ඔවුන් විසින් උල්ලංඝනය කළ බව පවසමින්, එවකට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විසින් මෙම ප්‍රතිඵල රඳවා තබන ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය, කොමිසමේ 14 වන වගන්තිය යටතේ ස්වයං චෝදනා (Suo Motu) පරීක්ෂණයක් ආරම්භ කළේය. පසුව බලපෑමට ලක් වූ ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ දෙමාපියන් කොමිසමේ නිල වශයෙන් පැමිණිලි ගොනු කළහ.
පරීක්ෂණයේදී හෙළි වූ කම්පන සහගත තොරතුරු
මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණය අතරතුර, කම්පන සහගත සත්‍ය ගණනාවක් අනාවරණය විය:
· විභාග ශාලාවේ අධීක්ෂණ කටයුතුවල නිරත වූ විභාග අධීක්ෂකවරුන්ගේ සහ පරීක්ෂකවරුන්ගේ ප්‍රකාශයන්ට අනුව, කිසිදු ශිෂ්‍යාවක් විභාග රීති උල්ලංඝනය කර නොතිබුණි. ඔවුන් තම සුපුරුදු තද හිජාබය වෙනුවට, කන් පැහැදිලිව පෙනෙන පරිදි ලිහිල් සාලු (Loose Shawls) පැළඳ සිටි බව අධීක්ෂකවරුන් තහවුරු කර ඇත.
· විභාග මධ්‍යස්ථානයට හදිසි චාරිකාවක නිරත වූ, තමන් ‘හේරත්’ නම් විභාග නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ලෙස හඳුන්වා ගත් බාහිර නිලධාරියෙකු, ශිෂ්‍යාවන්ගේ ඇඳුම් පිළිබඳව විවේචනය කළ අතර, ඔවුන්ට විභාග ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි අනතුරු ඇඟවීය. මේ හේතුවෙන් ශිෂ්‍යාවන් විභාගයට පෙනී සිටින අතරතුර දැඩි මානසික පීඩාවකට ලක් විය.
· අදාළ විභාග මධ්‍යස්ථානයේ දෙමළ භාෂාව කතා කරන කාන්තා පරීක්ෂකවරුන් කිසිවකු රාජකාරියේ යොදවා නොතිබූ අතර, එක් කාන්තා පරීක්ෂකවරියක් පමණක් රාජකාරියේ නිරත වී සිටියාය.
· විභාග දෙපාර්තමේන්තුව පසුව යැවූ ලිපිවල, ශිෂ්‍යාවන් අනන්‍යතාවය තහවුරු කිරීමේ රීතිය උල්ලංඝනය කළ බව සඳහන් විය. එහෙත්, කොමිසම පැවැත් වූ සමථි සාකච්ඡා අතරතුර, දෙපාර්තමේන්තු නිලධාරීන් එවැනි කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නොතිබුණි.
කොමිසමේ නීතිමය විශ්ලේෂණය සහ තීන්දුව
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, සිය සවිස්තරාත්මක විශ්ලේෂණයේ දී, විභාග කොමසාරිස්වරයාගේ ක්‍රියාව පහත සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කර ඇත:
· ආගමික නිදහස සහ නමස්කාර කිරීමේ අයිතිය (10 සහ 14(1)(ඉ) වගන්ති): ඉස්ලාමීය ආගමික විශ්වාසයන් මත හිස ආවරණය කර ඇඳුම් ඇඳීම ආගමික චාරිත්‍රයක කොටසකි. කන් පෙනෙන පරිදි ලිහිල් සාලු පැළඳ සිටියදීත් ප්‍රතිඵල රඳවා තැබීම, ඔවුන්ගේ ආගමික නිදහස උල්ලංඝනය කිරීමේ ක්‍රියාවකි.
· සිතීමේ සහ හෘදය සාක්ෂියේ නිදහස (10 වන වගන්තිය): විභාග ප්‍රතිඵල රඳවා තබා, මූලික අධ්‍යාපන සුදුසුකම ප්‍රතික්ෂේප කිරීම ශිෂ්‍යාවන්ට එල්ල කරන ලද බලහත්කාරකමකි. මෙය ඔවුන්ගේ පූර්ණ චින්තන නිදහස උල්ලංඝනය කර ඇත.
· සමානාත්මතාවය සහ වෙනස්කම් නොකිරීම (12(1) සහ 12(2) වගන්ති): ශිෂ්‍යාවන් ඔවුන්ගේ ආගමික අනන්‍යතාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය (මුස්ලිම් දැරියන්) යන පදනම මත පමණක් ඉලක්ක කර ඇත. මෙය ජාතිය, ආගම සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ‘ඡේදනාත්මක වෙනස්කම් කිරීමක්’ (Intersectional Discrimination) වේ.
· මානව ගරුත්වය: අනෙකුත් විභාග අපේක්ෂකයන් හා සැසඳීමේ දී මෙම ශිෂ්‍යාවන් පමණක් වෙන් කොට, අවමානයට ලක් කිරීම ඔවුන්ගේ මානව ගරුත්වයට හානි කරන ක්‍රියාවකි.
එමෙන්ම, ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව (ICCPR පනතේ 5(2) වගන්තිය) ප්‍රතිඵල රඳවා තැබීම ළමුන්ගේ යහපත (Best Interest of the Child) සඳහා පටහැනි බව ද කොමිසම පෙන්වා දී ඇත.
මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන නිර්දේශ
මානව හිමිකම් කොමිසම් පනතේ 15(3)(ඇ) සහ (4) වගන්ති යටතේ, වත්මන් විභාග කොමසාරිස් ජනරාල් සහ විභාග දෙපාර්තමේන්තුව වෙත කොමිසම පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කර ඇත:
· හේරත් නිලධාරියාට එරෙහිව පියවර: විභාග රීති උල්ලංඝනය වූ බවට අසත්‍ය තොරතුරු ලබා දී, අනිසි අරමුණකින් ක්‍රියා කළ බාහිර නිලධාරි ‘හේරත්’ සම්බන්ධයෙන් ප�ූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, ඔහුට එරෙහිව විනය පියවර ගත යුතුය.
· නව චක්‍රලේඛයක් නිකුත් කිරීම: ගැසට් පත්‍රයේ 17(IV) වගන්තිය, සිසුන්ගේ ආගමික නිදහසට හෝ ඇඳුම් ඇඳීමට බලපාන ආකාරයෙන් භාවිත කළ නොහැකි බව පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ යුතුය. කන් පෙන්වීම සඳහා ලිහිල් සාලු පැළඳීම විභාග අධීක්ෂකවරුන් පිළිගත යුතු බවට උපදෙස් දිය යුතුය.
· දෙමළ භාෂාව කතා කරන කාන්තා පරීක්ෂකවරුන් පත් කිරීම: අනාගතයේ දී විභාග මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ප්‍රමාණයෙන් කාන්තා පරීක්ෂකවරුන් සහ විශේෂයෙන්ම දෙමළ භාෂාව කතා කරන කාන්තා පරීක්ෂකවරුන් පත් කිරීම සඳහා පවතින ක්‍රමවේදය ප්‍රතිසංවිධානය කළ යුතුය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා සහ කොමිසමේ සාමාජිකයින් වන මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා, ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් ජී. පුංචිහේවා, මහාචාර්ය ටී. තනරාජ් සහ ආචාර්ය කෙහාන් ගුණතිලක යන මහත්ම මහත්මීන්ගේ අත්සන් සහිත මෙම තීන්දු ප්‍රකාශය අධ්‍යාපන අමාත්‍යාංශයට සහ විභාග දෙපාර්තමේන්තුවට යොමු කර ඇත.

