ලංකා බැංකුවේ දැනට පවතින ප්‍රධාන බැංකු පද්ධතිය වන International Comprehensive Banking System, විදේශයන්හි පිහිටි එම බැංකුවේ ශාඛාවන්ද ඇතුළුව සිල්ලර (Retail) සහ ආයතනික (Corporate) ව්‍යාපාර සඳහා වසර 22ක් පුරා භාවිත කරමින් පවතී.
එම පද්ධතියේ පවතින බොහෝ විශේෂාංග සහ ක්‍රියාකාරිත්වයන් මෙන්ම ඊට පදනම් වූ තාක්ෂණය ද වර්තමාන බැංකු කටයුතුවල ඉල්ලීම් සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇත.
එබැවින්, එකී බැංකු පද්ධතිය තවදුරටත් වැඩි දියුණු කිරීම වෙනුවට නව ප්‍රධාන බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් වී ඇති නිර්දේශ ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමතකරනු ලැබ තිබේ.
ඒ අනුව, ලංකා බැංකුවේ අරමුදල් යොදා ගනිමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ වසර 05 ක කාලයක් සඳහා එම බැංකුව තුළ නව ප්‍රධාන බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු සේවා සපයන්නෙකු තෝරා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

