ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතාට භාර දෙන ලදී.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ජයසේකර මහතා, මෙම පත්කිරීම සිදු කරනු ලබන විට, ඌව පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ කටයුතු කරමින් සිටියේය.
එසේම, ඒ මහතා ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර කටයුතු ආදී අමාත්‍යාංශයේ ලේකම් ලෙසද, ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, ඌව පළාත් සභාවේ ලේකම් ලෙස මෙන්ම ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙසද සේවය කර තිබේ.
මීට අමතරව, මොනරාගල, තණමල්විල සහ සියඹලාණ්ඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම් ලෙසද ජයසේකර මහතා කටයුතු කර ඇත.

