ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බවටත් එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසාදු ලේඛනයට ඇතුළත් කරන බවටත් ඩේලි මිරර් පුවත්පතේ පළ කර ඇති පුවත රජය ප්‍රතික්ෂේප කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එම පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය මෙන්ම ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශයක් බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති හමුව සිතාමතාම විකෘති කරමින් මෙම වාර්තාව සකසා ඇති බව එම නිවේදනයෙහි සඳහන්වනවා.
එහිදී සඳහන් වන්නේ, මෙම සාකච්ඡාවේදී මූලික වශයෙන් අවධානය යොමු වී ඇත්තේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි දියුණුව බිම් මට්ටමෙන් ඇති කිරීම සහ තරුණ තරුණියන් වෙනුවෙන් ක්‍රිකට් වැඩසටහන් දියත් කිරීම පිළිබඳව පමණක් බවයි.
එමෙන්ම තරුණ ක්‍රීඩකයන් සඳහා අවස්ථා පුළුල් කිරීම පිළිබඳව ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය එම නිවේදනය මගින් සඳහන් කළා.
මෙම නිල හමුවේදී සාකච්ඡා වූ සැබෑ කරුණු මොනවාද යන්න ජනාධිපතිවරයා මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ද තමන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බැවින් පාඨකයන්ට එම නිල ප්‍රකාශයන් සෘජුවම පරිශීලනය කිරීමට අවස්ථාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
රජය පෙන්වාදෙන්නේ, එවැනි පසුබිමක මෙවැනි ප්‍රබන්ධ පුවතක් පළ කිරීම අදාළ පුවත්පතේ විශ්වසනීයත්වය තවදුරටත් පළුදු කිරීමට හේතු වන බවයි.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසාදු ලේඛනයට ඇතුළත් කරන බවට කිසිදු තර්ජනයක් හෝ නිලවරණයට අදාළ කිසිදු කරුණක් සාකච්ඡා වී නොමැති අතර එවැනි කිසිදු අවසාන නිවේදනයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා විසින් නිකුත් කරද නොමැති බව නිවේදනයෙහි සඳහන්.
ඒ හේතුවෙන් ඩේලි මිරර් පුවත්පතේ පළ වූ මෙම අසත්‍ය පුවතට අදාළව රජය නිකුත් කළ මෙම නිල මාධ්‍ය නිවේදනය එම පුවත්පතේ ප්‍රසිද්ධියේ පළ කරන ලෙසත් අදාළ අසත්‍ය පුවත ඔවුන්ගේ මුද්‍රිත සහ අන්තර්ජාල සංස්කරණ යන දෙකෙන්ම වහාම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් රජය ඩේලි මිරර් පුවත්පතෙන් ඉල්ලා තිබේ.

