යාල ජාතික වනෝද්‍යානය තුළදී වනජීවී නීති උල්ලංඝනය කරමින් හැසිරුණු සංචාරකයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර ඇත.
සිද්ධිය වාර්තා වී ඇත්තේ යාල ජාතික උද්‍යානයේ සුදු වැලිමුල්ල ප්‍රදේශයේ දී වන අතර, සෆාරි සඳහා පැමිණි ජීප් රථ දෙකක සිටි පිරිසක් උද්‍යානයේ නීති උල්ලංඝනය කරමින් ජීප් රථවලින් බැස ඇවිදිමින් සිට ඇති බව සඳහන් වේ.
එහිදී ඔවුන් වනජීවී නිලධාරීන්ට තර්ජනය කර ඇති අතර, පසුව අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
මේ අතර, යාල ජීප් රථ සංගම් එකමුතුව සඳහන් කරන්නේ යාල උද්‍යානය තුළ ජීප් රථ රියදුරෙකු හෝ වෙනත් පුද්ගලයෙකු නීති කඩ කළහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත්, අදාළ ජීප් රථවලට සෆාරි සේවා තහනමක් පැනවීමටත් කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ ජීප් රථ සම්බන්ධයෙන් නිසි නීතිමය පියවර ගෙන නොමැති බවටත්, ජීප් රථ අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවටත් ඔවුන් චෝදනා කොට ඇත.

