Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14කින් ඉදිරියට

ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට

ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට

2026 ගෝලීය සාම දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ගෝලීය වශයෙන් 67වන ස්ථානය ලබා ගැනීමටයි ශ්‍රී ලංකාව සමත් වී තිබෙන්නේ.

ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ආයතනය විසින් රටවල් තුළ පවතින ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය, අභ්‍යන්තර හා බාහිර ගැටුම් මට්ටම් ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගනිමින් මෙම දර්ශකය සකස් කරනු ලබයි.

2026 වර්ෂය ගෝලීය සාමකාමීත්වය අඛණ්ඩව පිරිහුණු 12වන වර්ෂය ලෙසයි වාර්තා අතරට එක්වන්නේ.

ලෝකයේ සාමකාමීත්වය පසුගිය වර්ෂයට වඩා මෙවර සියයට 0.7කින් පිරිහී තිබෙනවා.

2008 වර්ෂයේ සිට මෙම ගෝලීය සාම දර්ශකය ප්‍රකාශයට පත් කරන අතර එම වර්ෂයේ පැවති තත්ත්වයට වඩා රටවල් 119ක් අඩු සාමකාමී මට්ටමට පත්ව ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

ගෝලීය සාම දර්ශකයේ පළමු ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර නවසීලන්තයට දෙවන ස්ථානයත් ස්විට්සර්ලන්තයට තෙවන ස්ථානයත් හිමිව තිබෙනවා.

රටවල් 163ක් අතරින් ලෝක සාම දර්ශකයේ අවසන් ස්ථානය රුසියාවට හිමිව ඇති අතර 162වන ස්ථානය සුඩානයට හිමිව තිබෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව රටවල් 99ක් සාමකාමීත්වයෙන් පහත වැටී තිබෙනවා.

ගෙවී ගිය කාලය තුළ රටවල් 62ක් සාමකාමීත්වය ඉහළ දමා ගැනීමට සමත්වී ඇති බවයි වාර්තාවලට අනුව පෙනී යන්නේ.

දකුණු ආසියානු කලාපයේ වැඩිම සාමකාමීත්වයේ ප්‍රතිශතයක් වාර්තා කිරීමට මෙවර ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර එය සියයට 2.3ක වර්ධනයක්.

ගෝලීය සාම දර්ශකයේ දකුණු ආසියානු කලාපයේ පෙරමුණ ගැනීමට භූතානය සමත්ව සිටිනවා. දෙවන ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

දකුණු ආසියානු කලාපයේ අවම සාමකාමීත්වයක් ඇති රට ලෙස ඇෆ්ගනිස්ථානය පත්ව ඇති අතර ඉන්දියාව එම කලාපයේ පස් වන ස්ථානයේ පසු වේ.

Exit mobile version