Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දින 20ක බිළිඳා ලක්ෂයකට විකුණූ මව අත්අඩංගුවට

දින 20ක බිළිඳා ලක්ෂයකට විකුණූ මව අත්අඩංගුවට

දින 20ක බිළිඳා ලක්ෂයකට විකුණූ මව අත්අඩංගුවට

උපත ලබා දින 20ක් පමණක් ගත වූ පිරිමි බිළිඳකු රුපියල් ලක්ෂයක මුදලකට අලෙවි කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බිළිඳාගේ මව සහ දරුවා මිලදී ගත් බව කියන කාන්තාව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඉකුත් අඟහරුවාදා දින (26) අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම මූලස්ථාන පොලිසිය සඳහන් කළේ, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පල්ලම, කම්මන්දළුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණ මවක් සහ මදුරන්කුලිය, කඩයමොට්ට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි.

අදාළ 25 හැවිරිදි තරුණිය විවාහයෙන් බැහැරව තරුණයකු සමඟ පවත්වාගෙන ගිය සබඳතාවයකින් මෙම බිළිඳා උපත ලබා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

දරුවාගේ පියා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූවකු වීමත්, ඔවුන් දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳීමත් හේතුවෙන් දරුවා ඇතිදැඩි කිරීමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇති බව හෙළිවී ඇත.

මෙම තත්ත්වය මත, දරුවන් නොමැති පවුලක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව තරුණ මව විසින් රුපියල් ලක්ෂයක මුදලකට සිය බිළිඳාව අලෙවි කර ඇති බව පොලිසිය සඳහන් කළා.

දරුවා මිලදී ගත් කාන්තාව විවාහ වී වසර 18කට වැඩි කාලයක් ගත වී තිබුණ ද දරුවන් නොමැති වීම හේතුවෙන් දැඩි මානසික පීඩාවකින් පසුවී ඇති අතර පසුව මෙම තරුණිය පිළිබඳව දැනගන්නට ලැබීමෙන් පසු, ඇය බිහි කළ බිළිඳාව සිය සැමියා ලවා රුපියල් ලක්ෂයක මුදලක් දී ලබාගෙන ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.

මවකගෙන් තවත් පාර්ශවයකට බිළිඳකු ලබා දීමේදී මෙරට පවතින නිසි නීත්‍යානුකූල දරුකමට හදා ගැනීමේ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම බැහැරව මුදලට දරුවන් හුවමාරු කර ගැනීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් ඉදිරි නීතිමය පියවර ගනිමින් පවතියි.

Exit mobile version