ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් හමුදා ප්‍රධානියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගාසා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වන ඉස් අද් – දින් අල් – හඩාඩ් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, මියගිය පුද්ගලයා 2023 ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවෙකු බවයි.
එමෙන්ම දහස් සංඛ්‍යාත ඊශ්‍රායල සිවිල් වැසියන් සහ ඊශ්‍රායල ආරක්ෂක බලකා සෙබළුන් ඝාතනය කිරීම, පැහැරගැනීම සහ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ද මොහු වගකිව යුතු බවයි ඊශ්‍රායලය චෝදනා කරන්නේ.
කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් හමාස් සංවිධානය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

