Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හේමරතන හිමිගේ මූලික විමර්ශන අවසන්; විමර්ශන උදෘත නීතිපතිවරයාට

හේමරතන හිමිගේ මූලික විමර්ශන අවසන්; විමර්ශන උදෘත නීතිපතිවරයාට

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළේ යැයි වූ චෝදනා සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන් කර විමර්ශන උදෘත නීතිපතිවරයාට යොමුකළ බව නිට්ටඹුව පොලීසිය ඊයේ (15) අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

එහිදී විමර්ශන නිලධාරීන් කියා සිටියේ, රජයේ රස පරීක්ෂක වාර්තා සහ නඩුවේ දෙවන සැකකාරියගේ බැංකු ගිණුම් වාර්තා සම්බන්ධයෙන් තොරතුරු පමණක් ඉදිරියේදී ලැබීමට නියමිත බවයි.

එසේම සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම සිදුවූ නවලෝක පෞද්ගලික රෝහලේ සිට මේ වනවිට කොළඹ ජාතික රෝහලට මාරුකර ඇති බව මෙහිදී බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඇතුළු නීතිඥවරුන් අධිකරණයට කියා සිටියේ සිය සේවාදායක හිමිනම වෙනුවෙන් මෙම අවස්ථාවේ ඇප ඉල්ලීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි.

ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ සිටින සිය සේවාදායකයාට ඉදිරි දිනවලදී වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමට නියමිතවීමත්, සිදුකෙරෙමින් පවතින විමර්ශනවලට පූර්ණ සහය දැක්වීමක් ලෙසත් මෙම අවස්ථාවේ ඇප ඉල්ලීමක් සිදු නොකරන බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී නඩුවේ දෙවන සැකකාරිය වන ලිංගික හිංසනයට ලක්වූයේ යැයි කියන දැරියගේ මව වෙනුවෙන් නීතිඥවරයෙකු ඇප අයැදුමක් ඉදිරිපත් කළද, ඊට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සිය විරෝධය පළ කළා.

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාරගතව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පළමු සැකකාර හිමිනම එළඹෙන 22 වනදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, දෙවන සැකකාරිය එදින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

Exit mobile version