Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුරු සේවයේ වැටුප් වැඩි කරන විදිහ ගැන ඇමති කියයි

ගුරු සේවයේ වැටුප් වැඩි කරන විදිහ ගැන ඇමති කියයි

ගුරු සේවයේ වැටුප් වැඩි කරන විදිහ ගැන ඇමති කියයි

ගුරු සේවය මෙරට වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, වනාතවිල්ලුව, නාගමඩුව මහා විද්‍යාලයේ නව පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ලෝකය නිර්මාණය කරන ගුරු සේවයේ පවතින ගැටලු විසඳීම සඳහා පියවරෙන් පියවර වැටුප් වැඩි කිරීම රජයේ අපේක්ෂාව බව ඔහු පෙන්වා දුන්නා.

මෙරට පවතින ගුරු හිඟය පියවීම සඳහා 2021 වසරේ සිට ප්‍රමාදවී තිබූ ගුරු බඳවා ගැනීම් කටයුතු මේ වසරේදී කඩිනම් කර තිබෙනවා.

ඒ අනුව ගුරුවරුන් දහසකට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළා.

ඉදිරි දිනවල එම තරග විභාග පවත්වන අතර කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විභාග සහ සම්මුඛ පරීක්ෂණ මත පදනම් වූ විනිවිදභාවයකින් යුතුව මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන බව ඔහු කියා සිටියා.

එහිදී චන්දන අබයරත්න මහතා පෙන්වා දුන්නේ, පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය හේතුවෙන් දරුවන්ට බාහිර ක්‍රියාකාරකම් මඟහැරී ඇති බවයි.

පසුගිය අලුත් අවුරුදු සමයේ දියේ ගිලීමෙන් සිදු වූ මරණ දෙස බැලීමේදී දරුවන්ට පිහිනීම වැනි ජීවිත ආරක්ෂක කුසලතා ලබාදීමේ වැදගත්කම පැහැදිලි වන බව අමාත්‍යවරයා සඳහන් කළා.

විෂය නිර්දේශ සංශෝධනය කරමින් අධ්‍යාපන පද්ධතියේ නව වෙනසක් ආරම්භ කර ඇති බවත් ඒ යටතේ ඉදිරියේදී 09 ශ්‍රේණියේදී ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු අනාවරණය කළා.

එමඟින් දරුවන්ට තමන්ගේ රුචිකත්වය පරිදි ශාස්ත්‍රීය අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනයට යොමුවීමේ අවස්ථාව උදාවන අතර ඒ සඳහා වෘත්තීය පුහුණු ආයතන 50ක් පමණ වැඩිදියුණු කිරීමට පියවර ගැනීමට නියමිත බවද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.

Exit mobile version