රුපියල් ලක්ෂ 98කට අධික මූල්‍ය වංචාවකට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පාලකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකට අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ‘User Management Module’ නැමැති මෘදුකාංගය ස්ථාපනය කිරීම සඳහා රුපියල් 9,831,250ක මුදලක් ගෙවා තිබියදී, එම මෘදුකාංගය ස්ථාපනය නොකිරීම සහ අදාළ මෘදුකාංගය ලබානොගෙන රජයේ මුදල් වංචාකාරී ලෙස ලබාගැනීමට කටයුතු කිරීම ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනා බව සඳහන් වේ.
පොලීසිය සඳහන් කරන පරිදි, මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ලැබී ඇති චෝදනා මතය.
රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

