වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දෙරටේ නියෝජිතයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.
ටෝ ලාම් මහතා සිය ධුරයට පත් වීමෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ රාජ්‍ය සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව මෙහිදී සතුට පළ කරමින්, මෙය දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වය සහ දිගුකාලීන සබඳතා පිළිබිඹු කෙරෙන වැදගත් මෙන්ම සංකේතාත්මක අවස්ථාවක් බවද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම, වියට්නාමයේ නව ජනාධිපතිවරයා ලෙස දෙවන වරටත්, වියට්නාම් කොමියුනිට්ස් පක්ෂයේ මහලේකම්වරයා ලෙසත් නැවත වතාවක් පත්වීම පිළිබඳව ටෝ ලාම් ජනාධිපතිතුමාට උණුසුම් සුබපැතුම් පළ කරමින් ඔහුගේ අඛණ්ඩ මඟපෙන්වීම යටතේ දැනටමත් සමෘද්ධිමත් රටක් බවට පත් වෙමින් පවතින වියට්නාමය වඩාත් ඉහළ තලයකට ළඟා වනු ඇති බවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විශ්වාසය පළ කරන ලදි.
දුෂ්කරතා තරණය කිරීමේ ජීවමාන සාක්ෂි සහිතව වර්තමානය වන විට අග්නිදිග ආසියානු රටක පසුබිමක සිට ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයක් දක්වා වියට්නාමය පරිවර්තනය වූ ආකාරය සම්බන්ධයෙන් වියට්නාමයට සුබපැතුම් එක් කරමින් දෙරට අතර සූර්ය සහ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව, තොරතුරු තාක්ෂණය, කෘත්‍රීම බුද්ධිය සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව, ආරක්ෂක සහයෝගීතාව, කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාව සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීම සඳහා දෙරට අතර තාක්ෂණ හුවමාරුව, ධාරිතා සංවර්ධන සහ පසු-අස්වනු කළමනාකරණය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව ඇතුළු පුළුල් පරාසයක විහිදෙන ක්ෂේත්‍ර හරහා අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා පැවැත්වුණි.
එමෙන්ම පුනර්ජනනිය බලශක්තිය, සැපයුම්, යටිතල පහසුකම් සංවර්ධනය, සංචාරක ව්‍යාපාර සහ නිෂ්පාදනය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අංශවල ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කරන ලෙස මෙහිදී වියට්නාම ව්‍යවසායකයන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කළේය.

