Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලන්ඩන් මැරතන් තරගයේදී; සාවේ ඉතිහාසය අලුත් කරයි

ලන්ඩන් මැරතන් තරගයේදී; සාවේ ඉතිහාසය අලුත් කරයි

ලන්ඩන් මැරතන් තරගයේදී; සාවේ ඉතිහාසය අලුත් කරයි

ලන්ඩන් මැරතන් තරග ඉතිහාසයේ ප්‍රථම වරට නිල තරගයක් තුළ පැය දෙකකට වඩා අඩු කාලයකින් (කිලෝමීටර් 42.195) නිම කළ ක්‍රීඩකයා ලෙස කෙන්යාවේ සබැස්ටියන් සවේ වාර්තා අතර එක්විය.

30 හැවිරිදි සවේ මෙම ජයග්‍රහණය වාර්තා කළේ පැයයි, මිනිත්තු 59යි, තත්පර 30ක කාලයකිනි.

මෙය 2023 වසරේදී අභාවප්‍රාප්ත කෙල්වින් කිප්ටම් විසින් තබා තිබූ පැය 2:00:35ක ලෝක වාර්තාව මිනිත්තුවකට වඩා වැඩි කාලයකින් බිඳ දැමීමකි.

ප්‍රකට ක්‍රීඩක එලියුඩ් කිප්චෝගේ 2019 වසරේදී පැය දෙකකට අඩු කාලයකින් මැරතන් දුර දිව ගියද, එය පාලිත තත්ත්වයන් යටතේ නොපැවැත්වූවක් බැවින් නිල ලෝක වාර්තාවක් ලෙස පිළිගනු නොලැබුණි.

තරගයේ අඩක් නිම කරන විට මිනිත්තු 60:29ක කාලයක් වාර්තා කර සිටි සවේ, දෙවන භාගයේදී සිය වේගය තවත් වැඩි කළේය.

අවසන් කිලෝමීටර් 10 දී ඔහු එල්ල කළ වේගවත් ප්‍රහාරයට මුහුණ දීමට සමත් වූයේ මංගල මැරතන් තරගයට සහභාගී වූ යොමිෆ් කෙජෙල්චා පමණි.

කෙජෙල්චා ද පැය දෙකකට අඩු කාලයකින් (1:59:41) තරගය නිම කරමින් දෙවන ස්ථානය දිනා ගත්තේය.

තුන්වන ස්ථානය දිනාගත් ජාකොබ් කිප්ලිමෝ ද පැරණි ලෝක වාර්තාවට වඩා වේගවත්ව (2:00:28) තරගය නිම කළේය.

ජයග්‍රහණයෙන් පසු අදහස් දැක්වූ සවේ පැවසුවේ, “මට ගොඩක් සතුටුයි. මම අවසානයට ළඟා වන විට මට හොඳ ශක්තියක් දැනුණා. නිමාව දැකලා වෙලාව බලනකොට මට පුදුම උද්යෝගයක් දැනුණා.” යනුවෙනි.

තරගයේ පළමු භාගය මිනිත්තු 60:29 කින් නිම කළ සවේ, දෙවන භාගය මිනිත්තු 59:01ක් වැනි සුපිරි වේගයකින් නිම කළේය. ඔහු අවසන් කිලෝමීටර් 5ක දුරක් දිව ගියේ කිලෝමීටරයකට සාමාන්‍ය මිනිත්තු 2 තත්පර 45ක වේගයකි.

හිටපු ඔලිම්පික් ශූර මෝ ෆාරා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, “මනුෂ්‍යයෙකු පැය දෙකේ සීමාව බිඳ දමන තුරු අපි බොහෝ කාලයක් බලා සිටියා. අද අපි දුටුවේ සැබවින්ම විශ්වාස කළ නොහැකි දෙයක්,” යනුවෙනි.

Exit mobile version