ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (24) සිකුරාදා පැවසුවේ තමාට මෑතකදී පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇති බව හඳුනාගෙන ප්‍රතිකාර කළ බවයි. ප්‍රතිකාර වලින් පසුව තමන් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව අගමැතිවරයා සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෙන්ජමින් නෙතන්යාහු පිළිබඳ නිවේදනය නිකුත් වූයේ ඔහුගේ වාර්ෂික වෛද්‍ය වාර්තාව මහජනතාවට නිකුත් කළ දිනයේම බවයි TIME වෙබ් අඩවිය සඳහන් කරන්නේ. යුද්ධයේ උච්චතම අවස්ථාවේදී එය නිකුත් නොකිරීමටත් පසුව මාස දෙකකින් එය ප්‍රකාශයට පත් කරන ලෙසත් අගමැති නෙතන්යාහු ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ. ‘ඉරාන ත්‍රස්තවාදී තන්ත්‍රයට ඊශ්‍රායලයට එරෙහිව තවත් අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීමට ඉඩ තබන්නේ නැහැ” යි මේ පිළිබඳව අදහස් දක්වමින් අගමැතිවරයා පවසා ඇත.
76 හැවිරිදි අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ, සිකුරාදා පැවසුවේ තමා නිරෝගීව සිටින බවයි. “දැන් මම විශිෂ්ට ශාරීරික තත්ත්වයකින් සිටිනවා. මගේ පුරස්ථි ග්‍රන්ථියේ සුළු වෛද්‍ය ගැටලුවක් තිබුණා. දැන් එය සම්පූර්ණයෙන්ම සුවයි.
වසර එකහමාරකට පෙර, මම විශාල වූ පුරස්ථිති ග්‍රන්ථියක් සඳහා සාර්ථක සැත්කමක් කළා. එතැන් සිට මම නිතිපතා වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිනවා. පසුගිය නිරීක්ෂණවලදී, පුරස්ථි ග්‍රන්ථියේ සෙන්ටිමීටරයකට වඩා අඩු කුඩා ලපයක් සොයා ගන්තා. ඒක මාරාන්තික පිළිකාවක ඉතා මුල් අවධියක්. දෙවියන්ට ස්තූතියි, මමත් මේකෙන් ගොඩ ආවා” බවයි අගමැතිවරයා පවසන්නේ.
ඔහු තම වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය කණ්ඩායමට ස්තූති කළ අතර “ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන ලෙස” තම ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

