ශ්‍රී ලංකාවේ රථ වාහන ලියාපදිංචි අංක තහඩු සඳහා අංක වෙනුවට හිමිකරුගේ නම සඳහන් කිරීමේ සුවිශේෂී ක්‍රමවේදයක් හඳුන්වා දීමට සූදානම් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ප්‍රියන්තා දිසානායක සඳහන් කළේ, දැනට පවතින පද්ධතිය යාවත්කාලීන කළ වහාම මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙහිදී මෑතකදී දැඩි කතාබහට ලක්වූ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ සුඛෝපභෝගී රථය උදාහරණයට ගනිමින්, සභාපති හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කර සිටියේ අංක වෙනුවට “Dudley” වැනි නමක් අංක තහඩුවටම ඇතුළත් කිරීමේ හැකියාවක් පවතින්නේද යන්නයි.
“ඩඩ්ලි මහත්තයා මාත් එකක් තරහා වෙන එකක් නැහැ මේක කිව්වට. දැන් ඔය ඩඩ්ලි මහත්තයාගේ කාර් එක ගැන හැමෝම කතා වුණානේ. අපේ බැරිද අංක තහඩුවට ඩඩ්ලි කියලා නම ගහලම ගන්න.”
ඊට පිළිතුරු දෙමින් කොමසාරිස්වරිය සඳහන් කළේ, ස්ථිර තාක්ෂණික පද්ධතිය සූදානම් වූ පසු එවැනි ඉල්ලීම් ඉටු කිරීමට දෙපාර්තමේන්තුවට බාධාවක් නොමැති බවයි.
එමෙන්ම එම ක්‍රමවේවේදය ලංකාවට හඳුන්වාදීමට සැලසුම් කරමින් යන බවත් පද්ධතිය යාවත්කාලීන කළ සැණින් එවැනි විශේෂ ව්‍යාපෘතියක් සිදු කිරීමටබලාපොරොත්තු වන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර රුපියල් ලක්ෂ දහයක වැනි ඉහළ මුදලක් ගෙවා වාහන ලියාපදිංචි අංක තහඩු සඳහා වෙන් කර ඇති අංක පරාසයන් ඉදිරියට ලබා ගැනීමට පුද්ගලයන් උනන්දු වන්නේ මන්දැයි හර්ෂද සිල්වා මහතා මෙහිදී නිලධාරීන්ගෙන් විමසා සිටියා.
ඊට පිළිතුරු ලබාදෙමින් කොමසාරිස් ප්‍රියන්තා දිසානායක කියා සිටියේ, රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම විශේෂ අංක ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාවට නංවා ඇති බවයි.
එමෙන්ම වාහන අංක ලක්ෂයක් ඉදිරියට One Million range අංක විකිණීමේ ක්‍රමවේදය යටතේ රුපියල් මිලියනයක් ගෙවා අංක ලබාගත් පිරිස පිළිබඳවද මෙහිදී තොරතුරු අනාවරණය වුණා.
ඒ අනුව 2023 වසරේදී 11 දෙනෙක්, 2024 වසරේදී 46 දෙනෙක්, 2025 වසරේදී 692 දෙනෙක්, 2026 අප්‍රේල් 17 වෙනි දින දක්වා 26 දෙනෙක්, මිලියනය බැගින් ගෙවා තමන්ට අවශ්‍ය අංක ලබාගෙන ඇති බව ඔහු සඳහන් කළා.
මේ අතර මීට පෙර අංක තහඩුවේ සටහන් වූ පළාත් අක්ෂර මේ වන විට ඉවත් කර ඇති බවත්, යුද සමයේ පැවති ආරක්ෂක අවශ්‍යතාවන් මත හඳුන්වා දුන් සංඛ්‍යාත හැඳුනුම්පත කියවීමට පොලිසිය සතුව රීඩර්ස් නොමැති වීම හේතුවෙන් එම ක්‍රමවේදය ද ඉවත් කළ බවත් කොමසාරිස්වරයා පැහැදිලි කළා.
නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීමේ කටයුතු මෙම වසරේ මැයි මාසයේ අග සිට ආරම්භ කළ හැකි බවද දෙපාර්තමේන්තුව මෙහිදී වැඩිදුරටත් දැනුම්දුන්නා.

