ඉරාන යුද්ධයට අදාළ වීඩියෝ දර්ශන බෙදාහැරීම හේතුවෙන් VICE, HuffPost සහ Al Jazeera යන ආයතනවල සේවය කර ඇති කුවේට්-අමෙරිකානු මාධ්‍යවේදී අහමඩ් ෂිහාබ්-එල්ඩින් කුවේටයේදී අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඉරාන මිසයිල ප්‍රහාරවල දර්ශන සහ අනෙකුත් සංවේදී කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන පුද්ගලයන්ට එරෙහිව කුවේටය සහ අනෙකුත් ගල්ෆ් කලාපීය රටවල් පියවර ගනිමින් සිටින පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.
යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී ෂිහාබ්-එල්ඩින් සිය ‘Substack’ ගිණුම සහ සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදාහදා ගත් නමුත් මාර්තු 2 වැනිදා සිට ඔහු තොරතුරු පළ කිරීම හදිසියේම නතර කර තිබුණි.
ඔහු එම අවස්ථාවේදී සිය පවුලේ සාමාජිකයන් හමුවීමට කුවේටයට පැමිණ සිටි අතර, ඔහු සති හයකට ආසන්න කාලයක් අත්අඩංගුවේ පසුවන බව ඔහුගේ මිතුරන් විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඔහු නිදහස් කර ගැනීමට මහජන සහයෝගය උපකාරී වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ඔවුහු මෙම කරුණ ප්‍රසිද්ධියට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
“අහමඩ් ෂිහාබ්-එල්ඩින් වහාම නිදහස් කරන ලෙසත් ඔහුට එරෙහි සියලු චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙසත් අපි කුවේටයෙන් ඉල්ලා සිටිනවා,” යැයි මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ කලාපීය අධ්‍යක්ෂ සාරා කුඩා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අසත්‍ය තොරතුරු පැතිරවීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම සහ ජංගම දුරකථනය අවභාවිත කිරීම යන චෝදනා බලධාරීන් විසින් ඔහුට එල්ල කර ඇති බව වාර්තා වේ.
ඔහුගේ මිතුරන් විසින් පෙන්වා දෙනු ලබන්නේ. ෂිහාබ්-එල්ඩින් බෙදාගත් දර්ශන දැනටමත් ප්‍රසිද්ධියට පත් වී තිබූ ඒවා බවය.
උදාහරණයක් ලෙස, ඔහු බෙදාගෙන තිබුණේ කුවේටයට ඉහළින් පියාසර කළ එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයක් කඩා වැටෙන අයුරු දැක්වෙන CNN වීඩියෝවකි.
කෙසේ වෙතත්, “මිසයිල හෝ අදාළ ස්ථානවලට සම්බන්ධ කිසිදු දර්ශනයක් හෝ තොරතුරක්” ඡායාරූප ගත කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් කුවේට් නිලධාරීන් මීට පෙර පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ.
ෂිහාබ්-එල්ඩින් දශකයකට වැඩි කාලයක් ප්‍රසිද්ධ මාධ්‍ය පෞරුෂයක්ව සිටි අයෙකු බැවින් ඔහුගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවත ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

