දේවාල සතු මුදල් පුද්ගලික ගිණුම් ලෙස සැලකිය නොහැකි බවත්, ආගමික ආයතන කළමනාකරණයේ විනිවිදභාවය සහ වගවීම යන මූලධර්ම ශක්තිමත් කරමින් මහජන පරීක්ෂාවට විවෘත විය යුතු බවත් අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නියෝගයක් අභියෝගයට ලක් කරමින් මහජන බැංකුව ගොනු කළ අභියාචනයකට අදාළව අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
මෙම තීන්දුවට අදාළව සිදුවීම වී තිබුණේ දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලය විසින් පවත්වාගෙන යනු ලබන ගිණුම් දෙකකට අදාළ තොරතුරු හෙළි කරන ලෙස තොරතුරු කොමිසම මහජන බැංකුවට නියෝග කළ පසුබිම යටතේයි.
එම දේවාලයේ හිටපු කපුමහතෙකු වන රාමක්‍රිෂ්ණ තේනබදු විසින් 2024 පෙබරවාරි මාසයේ දේවාලයේ ගිණුම් පිළිබඳ තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීමක් මහජන බැංකුවෙන් සිදුකර තිබුණා.
එහිදී අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහජන බැංකුවේ තොරතුරු නිලධාරියා සහ නම් කළ නිලධාරියා පවසා තිබුණේ එම තොරතුරු තෙවන පාර්ශවයක පුද්ගලික දත්ත බවයි.
බැංකුවේ මෙම ස්ථාවරයට දේවාලයේ බස්නායක නිලමේවරයාගේද සහය හිමිව තිබූ අතර ඔහු එම තොරතුරු ඉල්ලීමට නිල වශයෙන්ම සිය විරෝධය පලකළා.
පසුව රාමක්‍රිෂ්ණ තේනබදු මහතා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එය විභාග කිරීමෙන් අනතුරුව, 2024 දෙසැම්බර් 12 දින සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් තොරතුරු කොමිසම මෙම ඉල්ලුම්කරු ඉල්ලා සිටින තොරතුරු සැපයීමට බැංකුවට නියෝග කළා.
පසුව බැංකුව මෙම තීන්දුව අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරමින්, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ දේවාලය “තෙවන පාර්ශ්වයක්” ලෙස පිළිගැනීමට අපොහොසත් වීමෙන් සහ පෞද්ගලිකත්වය පිළිබඳ කරුණු ඉක්මවා යාමට ප්‍රමාණවත් මහජන අවශ්‍යතා ස්ථාපිත නොකිරීමෙන් කොමිෂන් සභාව නීතියෙන් වරදක් කර ඇති බවට තර්ක කළා.
කොමිසමේ නියෝගය බැංකු සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන් අතර රහස්‍යභාවය පිළිබඳ විශ්වාසනීය රාජකාරියක් පනවන බැංකු පනතට පටහැනි බව බැංකුව තවදුරටත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
කෙසේවෙතත්, අභියාචනාධිකරණය කොමිසමේ තීන්දුව තහවුරු කරමින් බැංකුවේ අභියාචනය ප්‍රතික්ෂේප කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර, විනිසුරු ආර්. ගුරුසිංහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ 4 වැනි වගන්තිය යටතේ එහි විධිවිධාන බැංකු පනතේ 77(1) වගන්තිය ඇතුළුව ගැටුම්කාරී නීතිවලට වඩා ප්‍රමුඛත්වය ගන්නා බව පෙන්වා දුන්නා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14A ව්‍යවස්ථාව යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යවස්ථානුකූලව සහතික කර ඇති බව අධිකරණය වැඩිදුරටත් සදහන් කළා.
මෙහිදී විනිසුරු ප්‍රේමචන්ද්‍ර මහතා පවසා සිටියේ බෞද්ධ විහාරස්ථාන ආඥාපනත යටතේ පන්සල් දේපළ, ආදායම් සහ නඩත්තු කටයුතු කළමනාකරණය කිරීමේ භාරකරු ලෙස බස්නායක නිලමේවරයා කටයුතු කරන බවයි.
එවැනි අරමුදල් අවභාවිතය පිළිබඳ මෑත කාලීන විමර්ශනය සැලකිල්ලට ගත් අධිකරණය, තොරතුරු වසන් කිරීමෙන් විනිවිදභාවයට බාධා කළ නොහැකි බව අවධාරණය කළා.
ඒ අනුව දේවාල සතු මුදල් පුද්ගලික ගිණුම් ලෙස සැලකිය නොහැකි බවත්, ආගමික ආයතන කළමනාකරණයේ විනිවිදභාවය සහ වගවීම යන මූලධර්ම ශක්තිමත් කරමින් මහජන පරීක්ෂාවට විවෘත විය යුතු බවත් අභියාචනාධිකරණය තීන්දු කළා.

