ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානියාගේ ලේකම්වරයා මෙන්ම බෑනා වන, අලි යූසුෆ් හර්ෂි ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ය.
එම පුවත් සේවය පැවසුවේ ඊයේ (08) ලෙබනනයේ බේරූට් අගනුවරට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවයි.
කෙසේ නමුත් හිස්බොල්ලා සංවිධානය එය තවමත් තහවුරු කර නොමැත.
මාර්තු මාසයේ යළි උත්සන්න වූ ඊශ්‍රායල – හිස්බොල්ලා ගැටුම් හමුවේ එක් දිනක් තුළ වාර්තා වූ දරුණුතම ප්‍රහාර මාලාව ඊයේ වාර්තා විය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලෙබනනයේ බේරුට් ඇතුළු නගර ඉලක්ක කරමින්, ඊශ්‍රායලය විනාඩි 10ක් තුළ ප්‍රහාර 100කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බවයි.
එම ප්‍රහාරවලින් ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 203 දෙනෙකු මිය ගොස් 1,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය.
අද ලෙබනනයේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට එරට අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් පියවර ගෙන තිබුණේ ඒ අනුවයි.
මේ අතර සටන් විරාමය ආරම්භ වීමෙන් අනතුරුව ලෙබනනයට එල්ල වූ එම ප්‍රහාර හේතුවෙන් ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමා ඇති බවට වාර්තා පළවිය.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පැවසුවේ ලෙබනනයට එල්ල වන එම ප්‍රහාර ඇමරිකාව සහ ඉරානය අතර ඇති සටන් විරාම ගිවිසුම උල්ලංඝණය කිරීමක් බවයි.
ඉරානය ලෙබනන් ජනතාව අත් නොහරින බවද, ඔහු අවධාරණය කළේ ය.
මේ අතර ලෙබනනයට එල්ල වූ ප්‍රහාර පිළිබඳව ජාත්‍යන්තරය නැගූ ප්‍රශ්නවලට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පිළිතුරු දුන්නේ, සටන් විරාමයට ලෙබනනයේ හිස්බොල්ලා සංවිධානය ඇතුළත් නොවන බව පවසමින්.
ඔහු පැවසුවේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලෙබනනයට පහර දෙන බවයි.
කෙසේ නමුත් යුරෝපා සංගමය,බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ඉල්ලා සිටින්නේ සටන් විරාමයට ලෙබනනයත් ඇතුළු කරගන්නා ලෙසයි.
මේ අතර මැද පෙරදිග යුද්ධය හමුවේ ඉරානයේ මියගිය පිරිස 3,000 ඉක්මවා ඇතැයි ඉරානයේ අධිකරණ වෛද්‍ය සංවිධානයේ ප්‍රධානී අබ්බාස් මස්ජෙඩි පවසයි.
ඔහු පැවසුවේ මියගිය අයගේ මළ සිරුරුවලින් 40%ක් පමණ මුලින් හඳුනාගත නොහැකි වූ බවයි.
මේ අතර ඉරානයේ හිටපු උත්තරීතර නායක ඝාතනය වී අදට දින 40ක් ගතවී තිබේ.
එය සනිටුහන් කිරීම සඳහා ටෙහෙරානයේ දැවැන්ත රැළියක් පැවැත්වුණු අතර ඊට විශාල ජනතාවක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
News 1st

