‘සුරකිමු ලංකා පාසල් බලශක්ති සුරක්ෂිතතා වැඩසටහන’ යටතේ පාසල් තුළ බලශක්ති සංරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙයි.
එම චක්‍රලේඛයේ දැක්වෙන පරිදි එල් – නිනෝ කාලවලදී ශ්‍රී ලංකාවේ දේශගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් වන අතර එහි ප්‍රධාන බලපෑම් ලෙස දිවා කාලයේ උෂ්ණත්වය ඉහළ යාම සිදු වෙයි.
එමඟින් සිසුන් හා ජනතාව අතර උෂ්ණාතතිය සහ විජලනය වැනි සෞඛ්‍ය ගැටලු ඇති වීමේ අවදානමක් පවතියි.
ඒ සමග ම වර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩු වී දිගු කාලයක් වියළි තත්ත්වයක් පවතින බැවින් ජල මූලාශ්‍ර ශීඝ්‍රයෙන් අඩු වෙයි.
මේ නිසා ජල සැපයුමට මෙන්ම ගොවිතැනටද දැඩි බලපෑම් ඇති විය හැකියි.
තවද ජල මට්ටම් පහළ යාම හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය අඩු වී බලශක්ති සැපයුමටද අර්බුද ඇතිවිය හැකි අතර එය විදුලි හිඟ වීමටද හේතු වීමේ හැකියාවක්ද පවතියි.
එබැවින් ඉදිරියේ දී ඇති විය හැකි එල් – නිනෝ තත්ත්වය හා ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා කටයුතු කළ යුතු බවයි එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.
මේ හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි ගැටලු වැළැක්වීම සඳහා පාසල් සිසුන් දැනුවත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සිදු කළ යුතු වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ බලශක්ති භාවිතය කාර්‌යක්ෂම කරමින් බලශක්ති සුරක්ෂිතතාව සහ පාරිසරික තිරසරභාවය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් සුරකිමු ලංකා පාසල් බල ශක්ති සුරක්ෂිතතා වැඩසටහන හඳුන්වා දී තිබෙයි.
ජීවයේ පැවැත්ම තිරසර කිරීම සඳහා සිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම මගින් ඔවුන් තුළ චර්යාත්මක වෙනසක් ඇති කර ගැනීමත් සිසුන් මගින් මෙම පණිවුඩය දෙමාපියන් වෙත ගෙන යමින් තිරසරභාවය සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ප්‍රජාව පෙළඹවීමත්, පාසල් තුළ බලශක්ති සංරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීමත් අරමුණු කර ගනිමින් පහත පරිදි කටයුතු කරන ලෙස සියලුම විදුහල්පතිවරුන්ට හා පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබා දීමේ අරමුණු කරගෙනයි මෙම ලිපිය නිකුත් කර ඇත.

