Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉදිරි සති කිහිපයේදී ජල සැපයුම තවත් නරක අතට

ඉදිරි සති කිහිපයේදී ජල සැපයුම තවත් නරක අතට

ඉදිරි සති කිහිපයේදී ජල සැපයුම තවත් නරක අතට

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරි සති දෙක තුන ඇතුළත වර්ෂාපතනයක් නොලැබුණහොත් රටේ ජල සම්පාදන තත්ත්වය තවදුරටත් නරක අතට හැරීමේ දැඩි අවදානමක් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ.එම්.පී.සී.ටී. බණ්ඩාර මහතා පවසනවා.

ඊයේ (02) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ, පවතින වියළි කාලගුණය සහ උත්සව සමය හේතුවෙන් ඉහළ ගොස් ඇති ජල පරිභෝජනය කළමනාකරණය කිරීම සඳහා අප්‍රේල් 20 වනදා දක්වා විශේෂ ජල කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මණ්ඩලය තීරණය කර ඇති බවයි.

සභාපතිවරයා පෙන්වාදෙන්නේ, කොළඹ දිස්ත්‍රික්කය සහ බස්නාහිර පළාතේ පිළියන්දල, මහරගම, කැස්බෑව, කොට්ටාව සහ හෝකන්දර වැනි ප්‍රදේශවලට දැනටමත් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවත්, ඇතැම් ස්ථානවලට ජලය නොලැබී යන තත්ත්වයක් උදා වී ඇති බවයි.

ජල නිෂ්පාදනය උපරිම මට්ටමින් සිදු කළද, පවතින උණුසුම් කාලගුණය නිසා ජනතාව ජලය පාවිච්චි කරන ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බව ඒ.එම්.පී.සී.ටී. බණ්ඩාර මහතා පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ඉදිරි සති කිහිපය තුළ වර්ෂාව ලැබීමේ ප්‍රවණතාව ඉතා අඩු බවත්, ඒ සමඟම එළඹෙන උත්සව සමයේදී ජල ඉල්ලුම තවත් වැඩිවිය හැකි බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කලේය.

“අපි ඉදිරි සැලසුම් සකස් කරලා තියෙන්නේ ඇතිවිය හැකි නරකම තත්ත්වය ගැන කල්පනා කරලයි. ඉදිරි සති දෙක තුන අපිට ජලය කළමනාකරණය කරගැනීමේ අවශ්‍යතාව දැඩිව මතුවන කාලයක් වේවි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම කුමන තත්ත්වයක් යටතේ වුවද රෝහල්, පාසල්, විශ්වවිද්‍යාල, රජයේ ආයතන සහ අත්‍යවශ්‍ය කර්මාන්තශාලා සඳහා බාධාවකින් තොරව ජලය සැපයීමට මණ්ඩලය බැඳී සිටින බවත්, එම සේවාවන් පවත්වාගෙන යාම සඳහා සාමාන්‍ය පරිභෝජනයේදී ජනතාව අරපිරිමැස්මෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ සහ ගංගා ආශ්‍රිත ජල මූලාශ්‍රවල ධාරිතාව මේ වන විටත් ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ඒ.එම්.පී.සී.ටී. බණ්ඩාර මහතා අනාවරණය කළා.

මේ හේතුවෙන් පවතින සීමිත ජල ප්‍රමාණය උත්සව සමය අවසන් වන තෙක් කළමනාකරණය කරගැනීමට මහජනතාවගේ උපරිම සහයෝගය අපේක්ෂා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලා සිටියා.

Exit mobile version