2026 වසර සඳහා ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය අයවැය යොජනාවලියෙන් හඳුන්වා දුන් නාගරික සංවර්ධන ක්‍ෂේත්‍රයේ විධිමත් ප්‍රමුඛතාගත සහ දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මූලික වැඩසටහනක් ලෙස තෝරාගත් නගර 10ක් සංවර්ධනය කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාල මූලික සාකච්ඡාවක් ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සෙත්සිරිපාය 09වන මහල පිහිටි ශ්‍රවණාගාරයේ දී ඉකුත් සිකුරාදා (27)දින පැවැත්වුණා.
යෝජිත ව්‍යාපෘතිය මගින් පසුගිය කාලයේ ප්‍රමාණවත් සැලසුම්කරණයක්, ශක්‍යතා ඇගයීම් හා ආයතන අතර, සම්බන්ධීකරණයක් නොමැතිව ක්‍රියාත්මක වූ නාගරික සංවර්ධන කටයුතු හේතුවෙන් ඇතිවූ ගැටළු නිරාකරණය කිරීම බලාපොරොත්තු වෙනවා.
මෙම නගර සංවර්ධන සැලැස්ම යටතේ බස්නාහිර පළාත හැර සෙසු පලාත් 08 නියෝජනය වන පරිදි ප්‍රධාන නගර 10ක් තිරසරව සංවර්ධනය කිරීමට අපේක්‍ෂා කෙරෙනවා.
ඒ යටතේ යාපනය, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, වව්නියාව, ඇහැලියගොඩ, බදුල්ල සහ මාතර යන තෝරාගත් නගර 10 සඳහා ප්‍රමුඛතාගත ව්‍යාපෘති සමග ඒකාබද්ධව සංවර්ධන සැලසුමක් දියත් කෙරෙනවා.
මෙම නගර තෝරාගැනීම ඒවායේ ප්‍රාදේශීය වැදගත්කම, සංවර්ධන විභවතාව සහ ජාතික නාගරික ධූරාවලිය ශක්තිමත් කිරීමේ භූමිකාව මත පදනම්ව සිදුකර තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ජාතික ප්‍රතිපත්ති සමග සංවර්ධන ක්‍රියාමාර්ග සම්බන්ධ කිරීම, පහසුකම් හා සේවා සැපයීම වැඩිදියුණු කිරීම, ආර්ථික අවස්ථා වැඩිදියුණු කිරීම සහ සංචාරක ආකර්ෂණය වර්ධනය කිරීම මගින් කාර්යක්‍ෂම, තිරසර හා ආයෝජන සඳහා සුදුසු නගර මධ්‍යස්ථාන නිර්මාණය කිරීමයි.
මෙම නගර සැලසුම් ක්‍රියාවලිය විධිමත් හා පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය ඇති ක්‍රියාවලියක් වන අතර යෝජිත නගර සංවර්ධන ව්‍යාපෘතිය තාක්‍ෂණික, ආර්ථික හා පාරිසරික වශයෙන් ශක්‍ය බව තහවුරු කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන සහ මූලික ව්‍යාපෘති ඇගයීම් සිදුකරනු ලබනවා.
එමෙන්ම අනුමැතිය, අරමුදල් වෙන්කිරීම සහ ක්‍රියාත්මක කිරීම පහසු කිරීමට රජයේ ප්‍රධාන ආයතන සම්බන්ධ කරමින් අන්තර් ආයතන සම්බන්ධීකරණය ද මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අංගයක්.
මෙම 10 Cities Development වැඩසටහන, ඒකාබද්ධ නාගරික ආයෝජන සඳහා විධිමත් රාමුවක් සපයමින් සමබර කලාපීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ විධිමත්, ඒකාබද්ධ වූ ජාතික නාගරික පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා දායක කිරීමට අපේක්‍ෂා කරයි.

