ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් බදාදා (25) උදෑසන අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා පැය 72ක රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන විමර්ශන පවත්වයි.
සුරේෂ් සලේ මහතා අත්අඩංගුවටගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව පොලිස් අධිකාරීවරයකුගේ නියෝග මත දින තුනක කාලයක් (පැය 72ක්) රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නීත්‍යනුකූල අවකාශය පවතින බව පොලීසිය සඳහන් කරයි.
එම කාලය තුළ අනාවරණය වන කරුණු සහ සාක්ෂි මත ඉදිරි විමර්ශන කටයුතු සඳහා දින 90ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය. සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබූ සාක්ෂි මත පදනම්ව බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සඳහන් කළේය.
මැදවත්ත මහතා මේ බව සඳහන් කරනු ලැබුවේ, සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම ඇතුළු පොලීසිය විසින් කළ වැටලීම් කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට බත්තරමුල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ බදාදා දින(25) පැවති මාධ්‍ය හමුවකදීය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ජාලිය සේනාරත්න, මත්ද්‍රව්‍ය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අසෝක ධර්මසේන සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට සහභාගිවී සිටියහ.
සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගනු ලබන්නේ පෑලියගොඩ ප්‍රදේශයේදීය. ඒ ඔහු දැනට සේවයේ නිරත ස්ථානයකට ගමන් කරමින් සිටියදීය.
මෙම සැකකරු පාස්කු ප්‍රහාරයේ ‘මහා මොළකරු’ ලෙස හැඳින්විය හැකිදැයි මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලීසිය ප්‍රකාශ කළේ, ඔහුට ප්‍රහාරය සම්බන්ධයෙන් සබඳතාවක් ඇති බවට සාක්ෂි පවතින නමුත්, ඔහු මහා මොළකරු ද නැතහොත් තවත් පාර්ශ්ව සම්බන්ධ ද යන්න තීරණය කළ හැක්කේ ඉදිරි ප්‍රශ්න කිරීම්වලින් පසුව බවයි.
මෙම විමර්ශනය ඉතා ප්‍රබල සහ සංවේදී එකක් බවත්, ප්‍රහාරයෙන් වින්දිතයන් වූ පවුල් දහස් ගණනක් අදටත් යුක්තිය අපේක්ෂාවෙන් පසුවන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේම නිශ්චිත චෝදනා ඉදිරිපත් කළ නොහැකි බවත්, විමර්ශනවල ප්‍රගතිය අනුව චෝදනා ගොනු කරන බවත් පොලීසිය වැඩිදුරටත් පැහැදිලි කළේය. සැකකරු අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු සියල්ල මේ මොහොතේ ප්‍රසිද්ධ කළ නොහැක්කේ එය විමර්ශනයට බාධාවක් විය හැකි බැවිනි.
මීට පෙර සාරා ජස්මින්ගේ DNA වාර්තා ලබාගැනීම සම්බන්ධයෙන් සහ ඇතැම් පරීක්ෂණ යටපත් කිරීමට උත්සාහ කළ බවට එල්ල වූ බරපතළ චෝදනා පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන ලදි. එසේම, මීට පෙර අත්අඩංගුවට ගත් හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන්ගේ සිදුවීම් පසුපසද මෙම සැකකරු සිටි බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පොලීසිය පැවසුවේ, එවැනි කරුණු පිළිබඳව ද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි.
මෙම සිදුවීම රහසිගත කටයුත්තක් නොවන බවත්, නීතියට අනුව සියලු තොරතුරු ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන බවත් පොලීසිය සහතික විය.
විමර්ශනවලින් අනාවරණය වන තොරතුරු මත වරින් වර මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ විය.

