උසස් පෙළ විභාගයට සමාන විභාගයක් රුසියාවේ දී හදාරා මෙරට වෛද්‍ය පීඨයට ඇතුළුවීම සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසියක් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම සිසුවා වහාම මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඉකුත් බ්‍රහස්පතින්දා දින (05) නියෝග කළා.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු මෙම පෙත්සම ගොනු කර තිබුණි.
එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බව වාර්තා විය.
පෙතසම්කරු කියා සිටින්නේ තමන් කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාලයකින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූ බවයි.
තම පියාට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරක් ලැබීමෙන් අනතුරුව තමාද රුසියාව බලා පිටත් වූ බවත්, එහිදී ඉන්දියානු, පාකිස්තානු හා බංග්ලාදේශ සිසුන් ඉගෙනුම ලබන පාසලකින් ජ්‍යෙෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය සමත් වූ බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
එය මෙරට අපොස උසස් පෙළ විභාගයට සමාන බවත් පෙත්සම්කරු කියා සිටිනවා.
ඉන් පසුව තමා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙරට රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අයඳුම්පතක් ඉදිරිපත් කළ අතර, ඊට අදාළ නිර්ණායකයන්ට තමා අයත් නොවන බව සඳහන් කරමින් අදාළ අයදුම්පත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පවසනවා.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, ඉදිරිපත් වූ කරුණු සලකාබැලීමේදී පෙත්සම්කරු රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අදාළ නිර්ණායකයන් යටතේ සුදුසුකම් ලබා ඇති බවයි.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මැදිහත්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට බලයක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා, පෙත්සම්කරුගේ අදාළ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට එම අමාත්‍යාංශය ගත් තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කළා.
මේ තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, පෙත්සම්කරු මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාල කොමිසමට නියෝග කලේය.

